සුදු සේල (සිව් වන කොටස )

2010 ජූනි 24 at 12:07 පස්වරු (වර්ගීකරණය නොකළ)

වැව් දියේ පිපි නෙළුම් මල් දිය රළ හා එක්ව රඟන රැඟුම බැල්මට මෙන් වැව් ඉවුරේ දිරා ගිය කඳන් මතට වී වැව් දියට ම නෙත් ඔබා ගනිමින් උන් පිළිහුඩුවෝ එකා දෙන්නා විටින් විට දිය තුළට එබෙමින් මාළු කූරියන් ඩැහැ ගත්තේ ඉවුරු කොණේ හැල හොල්මනක් නොමැතිව තපස් රැකි කොකුන්ගේ තපස් ඉරියව්වට ද බාදා පමුණුවමිණි. පිළිහුඩුවන්ගේ පියාපත් හඬින් අවදි වුණු විටෙක ගෙල උස්සා ශබ්දය නැගි දෙසට නෙත් යොමු කළ කොක්කු කෑදර සිතින් යුතුව නැවතත් දිය තුළට ම නෙත් ඔබා ගන්නට වූවෝය. පෙර දිනක දී සැදෑ වරුවේ වැව් ඉවුරේ දකින මේ සොඳුරු සිත්තම් පෙළහරින් ඔකඳ වන රන්මලී සිතුවම් පටයක එකම දසුන කීප විටක් නැරඹීමෙන් මඩින ලද සිතින් යුතුව ම මෙදින නිවහන කරා ළඟා වූවාය. මෑත් කර දමා තිබූ වැට කඩොල්ලෙන් ගෙමිඳුලට වන් රන්මලී වතුර බේරා හැරි තෙත රෙදි මිඳුලේ පසෙකින් ඇද තිබූ ලණු වැල් පට මත දමා ගෙතුළට වැදුනාය.

“ඈ කෙල්ලෙ දවාලට බත් නොකා මොනවැයි කෑවෙ.”

“මක්කවත් කෑවේ නෑ.”

“බත් නොකන්නෙ.”

“හිතට පිරියක් නෑ.”

“ආ……ං මම කොච්චි අහුරක් දාල ලුණු මිරිසක් තලල ඇති මාමගෙ බත් පතට අයිං කොරල කාහං.”

“නැන්ද කෑවයි.”

“මමත් හේනෙදිම කනව.”

මුළුතැන් ගෙට වැදුණු රන්මලී නැන්දාගේ ලුණු මිරිසේ සුවඳත් එක්කම බත් කෑව හැකි යැයි සිතමින්ම බත් බෙදා අවසන  බත් පතද රැගෙන නැන්දා අසලට පැමිණ පෙර නොකෑ විරූ කෑමක් කන්නා සේ බත් කන්නට වූවාය.

“කාල අහවර වෙලා හේනට ගෙනියන කලමනා සූදානම් කොරහං කෙල්ලෙ, බිං කරුවල වැටෙන්ට කලියෙන් හේනට දුවල එන්ට.”

“ලබු කැටේට වතුර ටිකක් පුරවන්ට විතරයි ඇත්තෙ.”

“හා….. එහෙනං උඹ හීන් සැරේ කාහං”

“මම හේනට දුවල එන්නං.” යි කියමින් නැන්දා පිළිකන්න පැත්තෙන්ම මිදුලට බැස හේන දිහාට පා එසැවූවාය.

මොහොතින් මොහොතම රන්මලීගේ සිත තුළ අලුත් සිතිවිලි මතුව ලියලා වැඩෙයි. මාමාත් නැන්දාත් තමන්ට දරුවකුට සේම සළකා රක්ෂා කරන්නෝය. ජයසිරි පැමිණ ඔවුන් මුණගැසී කතා බස් කොට නිසි පිළියමක් යෙදුව හොත් ඉදිරියේ දී සියල්ලන්ට ම මූණ දෙන්නට සිදුවන කරදර දුරුකර ගත හැකි නොවේදෝයි සිතමින් ම රන්මලී නින්දට පිවිසියාය. හෝරාවක් දෙකක් පමන රන්මලීගේ සිත තුළ පෙරලි කළ සිතිවිලි නිදි දෙව් දුවගේ ග්‍රහණයට ද අසු නොවීමෙන් රන්මලී රාත්‍රිය පුරාම වාගේ ඒ මේ අත හැරෙමින් උන්නාය. කුකුළු හාමිලාගේ හඬ් ඇසෙත්ම අවදි උණු ඈ මුළුතැන් ගෙට ගොස් වතුර කේතලය ලිප තබා එදෙස බලා සිටින්නට වූවාය.

“අද මොකෑ මේ වෙලපහින්ම.”

“නැන්දාගේ වදන් කණ වැකුණු ඈ නැන්දා දෙසට හැරී ආප්ප පිටි හැළිය අසලින්ම වූ කොට බංකුව මත හිඳ ගත්තාය.”

‘නින්ද යන්නෑ, හරියට රස්නෙ…….. රෑ තිස්සෙම වාගෙ අවදියෙනුයි මයෙ හිතේ.”

“ඕ……..ං ඔය පොල් ගෙඩිය ගාල ගනිංකො හනික.”

“නැන්දෙ කඩේ මාම කිව්ව නැන්දට කියන්නය කියල පයිංඩයක්.”

“මොකද්ද බං ඒ.”

“තව පිටි චුට්ටක් වැඩියෙන් වක්කොරන්නෙයි කිව්ව.”

“උන්දැට නම් කිව්ව හැකි පිටි වැඩි කෙරුවට උන්දැ කාසි වැඩිපුර දෙනවයි.”

“මෙදා පාර හේන් කෙරුවාවත් ලේසි වෙන පාටක් නෑ, මේ අව් කූටකේට සේරොක්කොම පිච්චෙන ගානයි.”

“වැවෙ වතුරත් දැන් අඩු වෙච්චි ගානයි නැන්දෙ.”

“හේනක් බතක් කර ගන්ට තියා බොන්ට වතුර කඳුළක් ඉතිරි වෙයිද කියලයි මට සැක.”

පොල් අතු හෙවිලි කර කටු මැටි බිත්තියෙන් බඳින ලද වා කවුළුවකින් තොර වූ  කුඩා මුළුතැන් ගෙයි බිත්ති පුරා බැඳුණු දැලි අගුරු පැල්ලමින් දැඩි වූ අදුර මකාලමින් මෙතක් වේලා ලිප තුළ දැවුණු කොළපුව ද ළා ගිනි පුලිගුවක්ව අවසන නිවී යන්නට විය. ආප්ප පිටි හැළියේ අවසන් ආප්ප කීපයට පිටි ඉතිරි වෙද්දී දෙදෙනාම වෙන් වෙන් වූ සිය කාරියන් උදෙසා සිතත් ගතත් යෙදවූවාය. ආප්ප වට්ටියද දෑතින් ගත් රන්මලී කඩමණ්ඩිය දෙසට පා තබන්නට වූයේ කඩිසර විලාසයක් පාමිණි. ගුරු පාර දෙපස ගස වැල් දුහුවිල්ලෙන් නැහැවී උදාසීන ගතියක් පෑවා වැනිය. උදෑසනක තිබිය යුතු පියකරු බව පෙරදා රාත්‍රියේදීම අතුරුදන් වූ සෙයකි. පරිසරය පුරාම තාන්තුවා ගතියක් දක්නට වේ. චණ්ඩ තාපයෙන් කේඩෑරි වී ගිය ගසුත් වැලුත් මළ ගමක සිරිය පෙන්වන්නාක් සේ මළානික ලෙසින් බිමට නැබුරු වී ගත් කොළ අතුත් මලුත් දූවිලි මුසු වූ මද සුළඟට ඒ මේ අත සැලෙන්නට විය. පරිසරයේ මේ අමුතු වෙස් ගැන්ම රන්මලීගේ දෙනෙතට හසු නොවීය ඈ හනි හනිකට කඩමණ්ඩිය දෙසටම පාතැබුවාය.

මතු සම්බන්ධයි……………

 

Permalink ප්‍රතිචාර 27

Follow

Get every new post delivered to your Inbox.