සුදු සේල (පස් වන කොටස )
ආප්ප වට්ටිය කඩේ මාමාගේ අතට දුන් රන්මලී නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ කඩේ මාමා ආප්ප වට්ටිය තුළ වූ ආප්ප ගනින්නට වූයෙනි.
“ඉඳා………… කෙල්ල ඊයෙ කාසි.” කී සැනින් රන්මලී කාසි ටික ගෙන ආපසු හැරී ගුරු පාරට බැස්සේ කඩේ මාමාගේ කතාව අහවර වෙන්නටත් කලියෙනි.
කඩ පිලේ වූ කබල් පුටුව බර කරමින් කහට කෝප්පයක් තොල ගාමින් උන් සිමියොං අප්පු ද රන්මලී ඈත ගුරු පාරේ නොපෙනී යන තෙක් නෙත් දල්වා ගෙන සිටියේ කුමක් වූයේ දැයි වටහා ගත නොහැකිවූ හෙයිනි.
“ඈ…………. මුදලාලි රන්මලී කෙල්ල මොකෑ අර මුදලාලිගෙ කතාව අහවර වෙන්ටත් කලියෙන් දුවන්ට තියාගත්තෙ.”
“මං ඒකිට ඊයෙ පයිංඩයක් කිව්ව උන්නෙ නැන්දට කියන්නෙයි කියල, ඒක අහන්න හැදුව විතරයි ඒකි දුවන්ට තියාගත්ත නොවැ.”
“එකත් එකටම මුදලාලි ඒකිට පයිංඩේ කියන්ට අමතක වෙන්ටෑ”
“මාත් හිතුව බං සිමියොං,ඒත් බං ඕකට ඔය හැටි බයේ දුවන්ට ඕනයෑ, මං හිතන්නෙ ජයසිරිය ගම ඇවිදින් වෙන්ටෑ, ඌව මුලිච්චි වෙන්ට තමා කෙල්ල ඔය අස්ප වේගෙන් දිව්වෙ.”
“කව්දෑ………. මුදලාලි අස්ප වේගෙන් දිව්වෙ.” යි කියමින් ම එතනා කඩේට ගොඩ වූවාය.
“මෙන්න මෙහාට දියං ඔය හැලප ටික.” යි කියමින් මුදලාලි එතනා දෙස නොරුස්නා බැල්මක් හෙලීය.
හැලප තසිම මුදලාලි අතට දුන් එතනා සිය කුහුල මැඩගනු පිණිස සිමියොං දිහාවට හැරුණි.
“ඈ……….. සිමියොං කවුද බං අස්ප වේගෙන් දිව්වෙ.”
“අස්ප වේගෙන් දිව්වෙ බං අස්පයෙක් නෙව.”
ඒබරං මුදලාලිගේ කඩ පිල මත වූ කබල් පුටු තුන හතරත් මිදුලෙහි වූ බංකු කෑල්ලත් බර කරමින් රට තොට තොරතුරු විමසමින් කහට කෝප්පයක් බොන්නට ද අමතක නොකළ බාල මහළු සියල්ලෝම සිමියොං අප්පුගේ පිළිතුරින් උස් හඬින් සිනාසෙන්නට වූයෙන් ගමේ ම ඕපාදූප සොයමින් වල් පල් දොඩන්නට කෑදර වූ එතනාගේ කේන්තිය දෙගුණ තෙගුණ වූවාය.
වෙනදා මෙන් ගුරු පාර දිගටම ගමන් කිරීමට ඉඩ නොදුන් රන්මලීගේ දෙපා ගුණපාල මාමලෑ කුඹුර උඩින් වැටී ඇති නියර දිගේ පියවර මනින්නට වූවාය.
කුඩා අගල් වලින් වටවූ හතරැස් හැඩැති පාත්ති වටා සීරුවෙන් මාරු වීමට හැකි වන ලෙස ඉතිරි කරන ලද නියර වල් සහිත බිම් කඩවල් හැරුණු විට අනෙක් සෑම බිම් කඩකම වැටකොළු, පතෝල, කරවිල, වම්බටු ආදී එළවළු වගා කළ වැලි බිම් සහිත හේන් බිමට ගොඩවූ රන්මලී රතට රතේ ඉදී හිනැහෙන කරවිල ගෙඩියක් ද නටුවෙන් වෙන් කොටගෙනම හේන් බිම ඔබ්බෙහි වූ සිරිදාසලෑ ගෙදර අගුපිල දිහාට පා එසැවූවාය.
“හා…………නේ රන්මලී අක්කා.” යි තෙපලමින් මාලතී අගුවේ වූ කබල් හැළි වළං අඩුක්කු කොට තිබූ මැස්සෙං ලොකු හැළියක් අතට ගත්තාය.
“අක්ක අද පාන්දරම මද්දු අයිය හම්බු වෙන්ට නේද.”?
“මාලතී නගාට තියෙන ඉව.”
“අක්කගෙ මූණෙන් කියවෙනව ලෙඩේ මොකද්ද කියල.”
“මට ඇති ලෙඩක් නෑ නගා.”
“රන්මලී අක්කගෙ ලෙඩට වෙදකං කරන්ට මටවත් අපෙ අප්පච්චිටවත් බැරි වෙයි ඕං……….”
“සිරිදාස අයිය අද එනවැයි නගා.”
“අද හැන්දෑ වෙද්දි එයි මයෙ හිතේ.”
“එහෙනං මං ගිහින් එන්නං නගා.”
“කහට ටිකක්වත් නොබී.”
“කහට බොන්ට හැන්දෑවට එන්නං.” යි කියමින් රන්මලී නිවස කරා පිය මනින්නට වූවාය. සිරිදාස අයියාට ජයසිරි හම්බු වන්නට ඇත. ලියමන කියවා ජයසිරි සමගම ගම එන්ට යැයි පවසා ජයසිරි සිරිදාස අයියාව නතර කර ගන්නට ඇත. ජයසිරි සිරිදාස අයියා සමගින්ම ගම එන්ට පිටත් වන්නට ඇත සිතිවිලි අතරේ සිර වී ඉබාගාතේ දෙපා නගන රන්මලී සිය නිවස්න කරා පැමිණියේ තම සුපුරුදු ඉවෙන් මෙනි. ගෙමිදුලට පැමිණි රන්මලී වැට මායිම අද්දරට වන්නට තිබූ සේපාලිකා මල් ගහෙන් බිමට බට මල් අහුරක් දෝතට ගෙන එහි මිහිරියාව නැහැයට ළංකර විඳ ගත්තාය. ගෙතුළට වැදුනු ඈ ගේ දොර අස් පස් කරන්නට වූයේ තාන්තුවාවෙනි. උදෑසන ඈ සිත උපන් උද්යෝගය කෙමෙන් පහව ගොසින් ඉස්මතුවූ උදාසීන ගතියකින් යුතුවම ඈ වැඩ පලෙහි නිමග්න වූවාය.
මතු සම්බන්ධයි…………