සුදු සේල (සය වන කොටස )
“රන්මලී අක්කේ” යි උස් හඬින් පවසමින් ම මාලතී රන්මලීලෑ වැට කොඩොල්ල ළඟ නතර වූවාය.
කමින් උන් බත් පත ද රැගෙන ගෙමිදුලට බට නැන්දා
“මොකෑ මාලතියෙ කෑ මොර දෙන්නෙ.” යි පවසත් ම රන්මලීගේ සිත තුළ මෙතෙක් පැවැති තාන්තුවා ගතිය පහව යන්නට විය.
“කෝ නැන්දෙ රන්මලී අක්ක.”
නැන්දා පිළිතුරු දීමට පෙර ගෙමිදුලට පිවිසි රන්මලී මාලතීට කතා කරන්ට වූවාය.
“මාලතී නගා නාන්ට නෙවද යන්නෙ, ඇවිත් ටිකක් ඉඳගන්ටකො, මාත් එනව නාන්ට යන්ට.” යි පවසා ගෙතුළට වැදුනු රන්මලී පනිට්ටුවට රෙදි ඔබමින් ම “නැන්දෙ මමත් යනව වැව දිහාට.” යි පවසමින් ම මාලතීට එකතු වූවාය.
“හැන්දෑ වෙන්ට කලියෙන් නාගෙන වරෙල්ල.”
තාම ඉර මුදුන් වුණා විතරයි නෙව, හැන්දෑ වෙනකං මොනව කරන්ටද නැන්දෙ.” යි මාලතී පිළිතුරු දෙන්ට වූවාය.
වැට කඩොල්ලෙන් පැන ගුරු පාරට බැස මද දුරක් ගෑටූ පසු මාලතී දෙසට හැරුණු රන්මලී ” ඈ නගා සිරිදාස අයිය තාම ආවෙ නැද්ද.”?
“මොකෑ අක්ක ඔය හැටි හදිස්සිය,? මද්දු අයිය කොහොමත් එන්නෙ හැන්දෑ වෙලා නෙව.”
“නෑ නගා මං සිරිදාස අයිය අතේ ජයසිරිට ලියමනක් ඇරිය.”
ආ…………. ඒක තමයි මේ හොරේ, හැන්දෑ වෙද්දි මද්දු අයිය එයි. නාල අහවර වෙලා අපේ දිහා යංකො.”
“මට හරි බයයි නගා, සුමාන තුනකින් විතර ජයසිරිගෙන් කිසිම පයිංඩයක් නෑ.”
“ඉන්තේරුවෙන්ම මද්දු අයිය අද විස්තරයක් දැන ගෙන එයි අක්ක බය ගන්ට කාරි නෑ.”
“හෙනක් බතක් කරගන ගම ඉන්ට කියල මං කී වංගියක් නං කිව්වයි, පතල් හාරන්ටම තමා හිත තිබ්බෙ.”
“අනේ අක්ක හූල්ලන්නෙ නැතුව එන්ටකො, සුනංගු උනොත් නැන්දගෙනුත් බැනුම් අහගන්ටයි වෙන්නෙ.”
“ජයසිරි මේ කරන වැඩ හින්ද නැන්දලගෙ හිතේ තියෙන අමනාපෙ තවත් වැඩි වෙනව නගා, එයැයි ඒකත් ටිකක් හිතන්න එපාය.” යි කියමින් රන්මලී අත රැදි පනිට්ටුව පසෙකින් තබත් ම මෙතෙක් වේලා හැලහොල්මනක් නොමැතිව එකම රටාවකට රැළි නැගි වැව් දියට බාදා පමුණුවමින් මාලතී දියට බැස ඒ මේ අත පීනන්ට වූවාය. වැව් ඉවුරේ විසල් ගස් හෙවනක පහස ලබමින් උන් රන්මලී දිය රළ හා එක්ව කෝල වන නෙළුම් මල් දෙස නෙත් යොමා සිටියාය.
“ඔය හැම කාරණේකටම උත්තර අද හැන්දෑ වෙනකොට ලැබෙයිනෙ.” යි කියමින් මාලතී දියෙන් ගොඩට විත් රන්මලීගේ අතින් ඇදගෙන ම යළි දියට බසින්නට වූවාය.
“දෙන්න එකතු උණු තැන කුටු කුටුව මිස වෙන වැඩක් නම් නෑ නෙව.” යි කියමින් ම නැන්දා ද වැව් දියට බසින්ට වූවාය. නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලීත් මාලතීත් උන් හිටි තැනින් ඉවත්ව ඒ මේ අත පීනා යන්ට වූවෝය.
දැඩි හිරු රැස් කිරණින් නික්මුණු තාපයෙන් රත් වූ වතුර හැළියක දිය මෙන් උණුසුම් වූ වැව් දියෙන් ගිනි ගෙන දැවෙන රන්මලීගේ සිතත් ගතත් නිවා ගත නොහැකි වූ රන්මලී කයටත් වැඩි සිතුවිලි බරින් මිරිකී ගොඩ අතට පීනා යන්ට වූවාය. තෙත බරිවී ඇඟට ම ඇලී තිබූ දිය රෙද්ද නිසාවෙන් ඉස්මතු වී පෙනෙන සිය සිරුර දෙස මද වේලාවක් බලා සිටි රන්මලී දිගු සුසුමක් ඇද නැවත එය වා තලයට ම මුදා හැරියාය. තෙත රෙදි අහවර කරමින් සුදු පැහැ පසු බිමේ නිල් පැහැති කුඩා මල් වැටුණු චීත්ත ගවුම ඇඟ ලා ගත් ඈ නැන්දා සබන් ගා අපුල්ලා ගල් පොත්ත මත තබා තිබූ රෙදි දියේ ඔබා සබන් හැර පනිට්ටුව තුළට දමා වෑ කණ්ඩියට ගොඩ වෙත්ම මාලතී ද ඇයට එකතු වූවාය.
වැව් බැම්මේ ඈත කෙළවර දෙස නෙත් දල්වා මදක් බලා සිටි රන්මලී මාලතීගේ අත තදින් මිරිකා සුළඟේ පාව යන සුමුදු මල් පෙත්තක් විලසින් වැව් බැම්මේ ඈත කෙළවර දෙසට පාව යද්දී මාලතීගේ දෑස් ද එදෙසට යොමු වූවාය. ජයසිරිගේ නෙත් අභියස නතර වූ රන්මලී අසන්නට කියන්නට වූ දාහක් දේ වලින් කුමක් කෙසේ ඇසිය යුතුදැයි සිතා ගත නොහැකිව ලත වෙද්දී “අක්ක දැන් නැන්දත් දියෙන් ගොඩ එයි; හනික ගියොත් නේද හොඳ.” යි මාලතී පවසත් ම රන්මලී කිසිත් නොදොඩාම ජයසිරිගෙන් ඉවත ගියේ මාලතීගේ වදන් යදම් පටක් සේ සිය දෙපා ගැට ගසා ඇදගෙන යන්නාක් වූ සෙයිනි. මග තොට හමු වූ කිසිවෙකු ගැන වත් ඇසූ කිසිවක් පිළිබද වත් අනවබෝදයෙන් ම රන්මලී මාලතීගේ මෙහෙයැවීම මත සිය ගෙපැලේ පිල මත ඉද ගත්තාය.
මතු සම්බන්ධයි…………