සුදු සේල ( හත් වැනි කොටස )

2010 ජූලි 20 at 4:56 පෙරවරු (වර්ගීකරණය නොකළ)

“රන්මලී ආ…………ං අර ළමය ඇවිදින්.” යි නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලී ගෙමිදුල දෙස බලා ජයසිරි වෙත මද සිනාවක් පා ගෙතුළට වැදුනාය.

සිදු වූයේ කුමක්දැයි සිදු වන්නට යන්නේ කුමක්දැයි නොදත් රන්මලී මුළුතැන්ගෙට වැදී ලිප දල්වා කේතලය ලිප මත තබත් ම නැන්දා පැමින එතෙක් අදුරේ තිබුන මුළුතැන්ගෙට ආලෝකය වැටෙන සේ දොර පියස්ස මෑත් කළාය. නැන්දාගේ මුහුණ බලා වදනක් හෝ දොඩන්නට ලජ්ජා වූ රන්මලී ලිප අද්දරට ම වි දැල්වෙන ගිනි සිළු දිහා බලා ගත්වනම සිටියාය.

“ජයසිරිට ඉල්ලමෙන් වාසිය කියන්නෙ…….., ලබන සුමානෙ දිහාට උඹව කැන්දන් යන්නත් හිතාන ඉන්නව කීවේ.”

දැඩි හිරු රැසින් කේඩෑරි වී ගිය ගස් වල තැනින් තැන මලානිකව පිපී වැනෙන මල් මත හීන් පොද වැසි වැටෙන බිනර මහේ උදාවට ඇත්තේ තව සතියක කාලයක් බැව් මෙනෙහි කළ රන්මලී මෙතෙක් ලිප මත දැවුණු ගින්දරෙන් පැසී නටන වතුර කේතලය බිමට බා ගිනි දැල් නිවා දමා කහට කෝප්පයක් වත් කොට නැන්දා අත ජයසිරි වෙත යැවුවාය. පෑල දොරින් මිදුලට බට රන්මලී කපා හෙළු පොල් ගසක කඳ මත වාඩි වී පැහැදිලි නිල් අහස් තලය දෙස බලා සිනාසෙන්නට වූවාය.

“ලබන සුමානෙ දිහාට උඹව කැන්දන් යන්නත් හිතාන ඉන්නව.” යි නැන්දා කී වදන් රන්මලීගේ දෙසවන පුරා රැව් පිළිරැව් දෙන්නට විය. ගෙතුළ මගුල පිළිබඳ කාරණා කතිකාවකි, ගෙන් පිටත අලංකෘත මංගල පෝරු මස්තකයේ ජයසිරි හා අතිනත ගත් රන්මලී සිහින ලොවක තනිව හිඳින්නී. පෙර දිනෙක හවස් ජාමේ ගෙමිදුල හරහා හඬ තැලූ දෙමලිච්චන්ගේ කරච්චලය මෙදින රන්මලීට නැවුම් සංගීත රාවයක්ම විය. වැහි පොද වැටී ගස් වැල් මල් දලු දා මුළු පරිසරයම අලංකෘතවන්නේ සිය මගුල උත්සවශ්‍රීයෙන් සමරන්නට මෙනැයි මෙනෙහි කරමින් රන්මලී තවමත් උන්තැනමය.

ජයසිරි පැමින ගොස් දෙපැයක් ගත වන්නට ඇත. මුළුතැන් ගේ දිහාවෙන් රාත්‍රී බත වෙනුවෙන් ලක ලැහැස්තිවෙන වළං පිඟන් ගැටෙන හඬ විනා වෙනත් කිසිදු හඬක් පිට නොවීය. නැන්දා සමගින් පෙර මෙන් දොඩමළු නොවූ රන්මලී ඉදුණු බත් මුට්ටිය පසෙකින් තබා ලිප මත වූ කරවල හොද්ද නටන තෙක් හැදි ගෑවාය.

එදින රාත්‍රී නිදි පැදුරේදී ද සිය මගුල දිනය ගැන සිත වෙහෙසමින් උන් රන්මලී දෙනෙත් වෙත නිදි දෙව් දුව පැමිණියේ ද නැත.

ජයසිරි ගම ඇවිදින් ගිය පසු රන්මලී පින්නෙන් දොවා ගත් මලක් මෙන් ප්‍රාණවත් වූවාය. සිය යෙහෙලියන් සමගින් පෙරදා මෙන් ගම් මැද්දේ ඇවිද යන්නටත් වැව් තාවුල්ලේ හිද කවි සී පද කියන්නටත් ආසා කළ ඈ වරෙක යෙහෙලියන්ගෙ කවට කතා බසින් උරණ වන්නටත් තවත් වරෙක ලජ්ජාවෙන් මිරිකී සිනාසෙන්නටත් වූවාය. වස්සානය එළබෙත් ම ගම් මැද්දේ ලතා මඩුළු සිය අතු පතර මලින් කොළින් සරසා හිනැහෙන්නාක් මෙන් රන්මලී ද වඩ වඩාත් හිනැහෙන්නට වූවාය. වැහි පොද එකින් දෙකින් ඇරඹි පොද වැස්ස මහා වැහි බිදු බවට පත්ව එක සීරුවට අහස් කුස සිට පොළෝ තලය  දෙදුරුම් කවමින් කඩා වැටෙන්නට විය. පොද වැස්සට දළු දමා මෝදු වෙමින් තිබූ මල් කැකුළු බොරළු කැට තරම් මහත් වූ වැහි බිදු හමුවේ පරාජිතව නටුවෙන් ගිලිහී පොළෝ තලය සිප ගනිමින් මඩ වතුරේ ගසා ගෙන යන්නට විය. තෙදිනක් පුරා වට මහා වරුසාව දෙස රන්මලී බලා උන්නා පමනි. අඩු වෙමින් වැඩි වෙමින් නොනවත්වා කඩා හැලෙන වැසි දියට රන්මලීගේ සිතිවිලි ද සේදී යන්නා සේය. මගුල් දින අදින්නට සිතා උන් සුදු මල් සහිත සාරිය හා හා පුරා කියා අදින මුල්ම දිනයේ වැසි දිය වැටී කිළුටු වනවාට  අකමැතිවූ රන්මලීගේ සිත නොසන්සුන් වූවාය. ජයසිරිගෙන් ලද ප්‍රතම ත්‍යාගය මෙතෙක් දවස් රක්ශා කළෙ එයින් ම සැරසී ඔහු අත ගැන්මටයි. අනෝරා වැසි වැටී සිය සුමුදු සාරිය  කිළුටු වේ යැයි සිතා රන්මලී ලතැවෙද්දී නැන්දා ඇතුළු ඇගේ හිතවතුන් හෙට දින  උදාවන සුබ කටයුත්තට කඩිමුඩියේ සූදානම් වූවෝය.

“රන්මලී දැන් ඇති නොවැ ඔය කල්පනාව……, ගිහිං අර කේතලේ ලිපේ තිබ්බනං”

‘කට්ටියම තේ බීල ඉන්නෙ නැන්දෙ.” යි කියමින් මාලතී කාමරය තුළට පැමිනියාය.

“හෙට අදින ඇදුම් සේරම හරි නේද අක්ක.”

“සාරිය නම් හරි නගා, ඒකට දාන්න මුතු පටක් තෝරල දෙන්නකො,

“ම්………සාරියත් බලන්ට ගන්නකො.”

මේ……ං නගා සාරිය , මේ පෙට්ටියේ ඇති මුතු පට දෙකක් ඔයා හොද එකක් තෝර දෙන්නකො.”

මතු සම්බන්ධයි………..

 

ප්‍රතිචාර 11

  1. ඉලංදාරියා....... said,

    හුම් ලියල තියෙන්නෙ ලසනට ..වෙනදාවගේම….

    ඉතිරුය කෝ…

    මගුල් ගෙදදී හමුවෙමු……..

  2. nimanthi said,

    ඔහෝ බෝහෝම ඉක්මන් වෙලා… :-)
    හ්ම්ම්ම්…. කතාව හොඳ අතට…

  3. isimbuwa said,

    ඉක්මන් වැඩිද …………. මට ඒක තේරුනේ නෑ

  4. සුළඟ said,

    ඉතින් මඟුල් ගෙදර ලඟද?
    මැණික්(සුළඟ)

  5. ```Outsider``` said,

    එහෙනම් ඒකත් මංගලම්.
    ලස්සනට ලියවෙමින් තියෙනව ඔබේ කතාව.

  6. dil said,

    නියමයි නේ ඉතිරියත් ඉක්මනට ලියමු.

  7. sampathjt said,

    හ්ම්…කථාව ලියන විදිය හොඳයි…සාමාන්‍යයෙන් අපි අහලා පුරුදු, දැකලා පුරුදු, අපි බලාපොරොත්තුවෙන කථාවකට එහායින් දෙයක් අන්තර්ගතවෙනවා නම් මම ගොඩාක් කැමතියි…ඒ උනාට මට එහෙම කියන්න අයිතියක් තියෙද මන්දා..ඔයා ලියනවා අපි කියවනවා…කොහොම උනත් හොඳ උත්සාහයක්…
    දිගට ම ලියන්න…
    මගෙන් සුභ පැතුම්!!!
    ජයවේවා!!!

  8. ඉලංදාරියා....... said,

    හුම්ම්ම්ම්ම්ම් ..

    ඉතුරු ටික දාන්න අදහසක් නැද්ද..?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.