ම’සිත හැඟුම් පුබුදුවන්න….

2011 ජනවාරි 30 at 3:07 පස්වරු (කැඩපත් පවුර)


 

දුර ඈත තනි තරුවට
මේ සීත රෑ තනිව හිඳ
කොඳුරනා රස රහස
රැගෙන යනු මැන
පවන් රොදේ
හීන් සැරේ
කනට ඇගේ මුමුනලා
කියා ගන්න බැරිව ලතැවෙනා
ම’සිත උපන් ආදරේ
ඇගේ කනේ තබාලා
රැගෙන එන්න
ඇගේ උනුහුම් සුසුම් පොදක්
සීතලට ගැහෙන
ම’සිත හැඟුම් පුබුදුවන්න….

Permalink ප්‍රතිචාර 3

සුදු සේල (අවසාන කොටස)

2010 අගෝස්තු 23 at 11:46 පෙරවරු (වර්ගීකරණය නොකළ)


“රන්මලී අක්ක ඔයා හෙට අඳින්නකො මේ පුන්චි මුතු පට, ඒක හරි ලස්සනයි, අක්ක හෙට තවත් හැඩට පෙනෙයි, ජයසිරි අයියත් කැමති වෙයි.”

“අනේ නගා ජයසිරිට ඕවයෙ ගානක් නෑ, එයා ඕවයෙ හැඩ බලන්නෑ අනේ.”

“ඔව්, ඔව් හෙට නම් ජයසිරි අයියට ඕවයෙ ලස්සන පේන එකක් නෑ.”

“අනේ නගා මේ වැස්ස නතර වෙන හැඩක් නෑ නෙව, සේරම ලස්සන මේ වැස්සත් එක්ක හේදිල යයිද කියලයි මට බය.”

“මොනවද ළමයො හෑබෑටම ඔය කියන කතා, ආ……..ං කුස්සියෙ කෑම බෙදල තියෙනව දෙන්න එක්ක ගිහින් කෑවනං, කුස්සිය අස්පස් කරල දාල වේලපහින් නිදා ගත්තොත් නේද හොඳ, හෙට පාන්දරින් අවදි වෙන්නත් තියෙන එකේ…..”

“නගා එහෙනං අපි කාල ඉමු, අද අපේ දිහා නේද නගා ඉන්නෙ.”

නැතුව නැතුව අද විතරනෙ මට අක්ක එක්කල ඉන්න පුලුවන්, ජයසිරි අයිය හෙට අක්කව කැන්දන් ගියාම මට තමයි පාළු.”

රන්මලීත්, මාලතීත් කා බී අහවර කොට නැන්දාගේ නියමය අනුව නිදි පැදුරට වැටුනද රෑ දෙගොඩහරි ජාමය වන තෙක් නොයෙක් දෑ කතා බස් කරමින් උන්නේ තොරතෝන්චියක් නැතිව ඇද හැලෙන වරුසාවට නොදෙවෙනිවය. රෑ පුරාම එක සීරුවට වට වරුසාව පාන්දර තෙක්ම ඇද හැලෙන්නට විය. හිරු කිරණ පරදා අහස් ගැබ පුරා විසුරුනු කලු වලාකුළු මුළු පරිසරය පුරාම දැඩි මූසලකමක් විහිදුවාලීය.

“මාලතී කෝ අපේ කෙල්ලට ලෑස්තිවෙන්න උදව් උනානං, වැස්ස කියල බෑ නොවැ නැකැත් වලට කටයුතු ටික හරියට කරන්ට එපාය.”

“රන්මලී අක්ක ඇති අනේ ඔය හේදුව්, දිය වෙල යයි, මෙන්න මෙහේ එන්ටකෝ ඇඳ ගන්ට වෙලා මද වෙයි.”

“මේ……… එනව නගා………”

“අම්මේ ඇති යාන්තං මෙයාගෙ හේදිල්ල ඉවරයක් උනා, එන්ට එන්ට අද මමයි ඔයාව හැඩ කරන්නෙ.”

“ඔසරියට රැළි ටික හරියට තිබ්බද නගා.”

ඔව්, ඔව් ඒව සේරම හරි ඔයා ඉක්මනට එන්ටකො……..”

“මම කොන්ඩෙ බැදගෙන එන්නම් මොකද හදිස්සිය.”

“අනේ නගා පිච්ච මලක් කඩල ගෙනත් දෙන්ටකො කොන්ඩෙට ගහන්න.”

“හරි අනේ ගෙනත් දෙන්නම්, ඔසරිය ඇදගෙන ඉමුකො.”

“ඕ….ං ඔය රැළි ටික අක්ක අල්ල ගෙන ඉන්ට, මම මෙතනට කටු ගහනකං.”

“පටිය ටිකක් තද වැඩියි නගා.”

“දැන් හරි නේද.?”

“ෂා……….. හරිම හැඩයි නෙව කෙල්ල අද, දැං ඔක්කොම හරි නේද පුතේ, මාලතී ආ………..ං කුස්සියේ තේ හදල තියෙනව, අක්කත් එක්ක තේ ටිකක් බීල ඉන්ට, නැකතටත් වෙලාව හරි නෙව.’

සිය මනමාලිය රැගෙන යාමට මලින් සැරසූ මාවත ඔස්සේ පැතුම් පොදි බැදගෙන ජයසිරි පැමිණි රථය වැව් බැම්මේ පහතට ඇදී ගියේ ජයසිරිගේ සිත තුළ වූ පතුම් පොදි සුණු විසුණුව සී සී කඩ විසුරුවාලමිනි. පැයකට පමන පසු වැව් දියේ සැඟව සිටි ජයසිරි පෙරදා රන්මලී හා කෝල වූ වැව් ඉවුරේ ඈත කොනක නිසොල්මනේ දෙනෙත් අහස් තලය දෙසටම යොමු කොට ගෙනම වැතිර උන්නාය.

දෙබරෙට ගලක් වන් කලෙක මෙන් ගම පුරා පැතිර ගිය මේ අසුබ ආරංචිය මගුල් ගෙදර උදවියගේ දෙසවන් මතද පතිත වූවාය. අහස් ගැබ ගුගුරුවා පැණ නැගී මහා හෙණ හඬක් තම පපුව මතට වන් කලක මෙන් මහ හඬින් විලාප තබමින් සිහිසුන්ව ඇද වැටුණු රන්මලී පියවි සිහියට වන් කල ” අනේ අපි දෙන්න දාල ගියේ ඇයි.” යි විටින් විට පවසමින් යළි සිහි සුන්ව ඇද වැටුනාය.

නිමි………

Permalink ප්‍රතිචාර 17

සුදු සේල ( හත් වැනි කොටස )

2010 ජූලි 20 at 4:56 පෙරවරු (වර්ගීකරණය නොකළ)


“රන්මලී ආ…………ං අර ළමය ඇවිදින්.” යි නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලී ගෙමිදුල දෙස බලා ජයසිරි වෙත මද සිනාවක් පා ගෙතුළට වැදුනාය.

සිදු වූයේ කුමක්දැයි සිදු වන්නට යන්නේ කුමක්දැයි නොදත් රන්මලී මුළුතැන්ගෙට වැදී ලිප දල්වා කේතලය ලිප මත තබත් ම නැන්දා පැමින එතෙක් අදුරේ තිබුන මුළුතැන්ගෙට ආලෝකය වැටෙන සේ දොර පියස්ස මෑත් කළාය. නැන්දාගේ මුහුණ බලා වදනක් හෝ දොඩන්නට ලජ්ජා වූ රන්මලී ලිප අද්දරට ම වි දැල්වෙන ගිනි සිළු දිහා බලා ගත්වනම සිටියාය.

“ජයසිරිට ඉල්ලමෙන් වාසිය කියන්නෙ…….., ලබන සුමානෙ දිහාට උඹව කැන්දන් යන්නත් හිතාන ඉන්නව කීවේ.”

දැඩි හිරු රැසින් කේඩෑරි වී ගිය ගස් වල තැනින් තැන මලානිකව පිපී වැනෙන මල් මත හීන් පොද වැසි වැටෙන බිනර මහේ උදාවට ඇත්තේ තව සතියක කාලයක් බැව් මෙනෙහි කළ රන්මලී මෙතෙක් ලිප මත දැවුණු ගින්දරෙන් පැසී නටන වතුර කේතලය බිමට බා ගිනි දැල් නිවා දමා කහට කෝප්පයක් වත් කොට නැන්දා අත ජයසිරි වෙත යැවුවාය. පෑල දොරින් මිදුලට බට රන්මලී කපා හෙළු පොල් ගසක කඳ මත වාඩි වී පැහැදිලි නිල් අහස් තලය දෙස බලා සිනාසෙන්නට වූවාය.

“ලබන සුමානෙ දිහාට උඹව කැන්දන් යන්නත් හිතාන ඉන්නව.” යි නැන්දා කී වදන් රන්මලීගේ දෙසවන පුරා රැව් පිළිරැව් දෙන්නට විය. ගෙතුළ මගුල පිළිබඳ කාරණා කතිකාවකි, ගෙන් පිටත අලංකෘත මංගල පෝරු මස්තකයේ ජයසිරි හා අතිනත ගත් රන්මලී සිහින ලොවක තනිව හිඳින්නී. පෙර දිනෙක හවස් ජාමේ ගෙමිදුල හරහා හඬ තැලූ දෙමලිච්චන්ගේ කරච්චලය මෙදින රන්මලීට නැවුම් සංගීත රාවයක්ම විය. වැහි පොද වැටී ගස් වැල් මල් දලු දා මුළු පරිසරයම අලංකෘතවන්නේ සිය මගුල උත්සවශ්‍රීයෙන් සමරන්නට මෙනැයි මෙනෙහි කරමින් රන්මලී තවමත් උන්තැනමය.

ජයසිරි පැමින ගොස් දෙපැයක් ගත වන්නට ඇත. මුළුතැන් ගේ දිහාවෙන් රාත්‍රී බත වෙනුවෙන් ලක ලැහැස්තිවෙන වළං පිඟන් ගැටෙන හඬ විනා වෙනත් කිසිදු හඬක් පිට නොවීය. නැන්දා සමගින් පෙර මෙන් දොඩමළු නොවූ රන්මලී ඉදුණු බත් මුට්ටිය පසෙකින් තබා ලිප මත වූ කරවල හොද්ද නටන තෙක් හැදි ගෑවාය.

එදින රාත්‍රී නිදි පැදුරේදී ද සිය මගුල දිනය ගැන සිත වෙහෙසමින් උන් රන්මලී දෙනෙත් වෙත නිදි දෙව් දුව පැමිණියේ ද නැත.

ජයසිරි ගම ඇවිදින් ගිය පසු රන්මලී පින්නෙන් දොවා ගත් මලක් මෙන් ප්‍රාණවත් වූවාය. සිය යෙහෙලියන් සමගින් පෙරදා මෙන් ගම් මැද්දේ ඇවිද යන්නටත් වැව් තාවුල්ලේ හිද කවි සී පද කියන්නටත් ආසා කළ ඈ වරෙක යෙහෙලියන්ගෙ කවට කතා බසින් උරණ වන්නටත් තවත් වරෙක ලජ්ජාවෙන් මිරිකී සිනාසෙන්නටත් වූවාය. වස්සානය එළබෙත් ම ගම් මැද්දේ ලතා මඩුළු සිය අතු පතර මලින් කොළින් සරසා හිනැහෙන්නාක් මෙන් රන්මලී ද වඩ වඩාත් හිනැහෙන්නට වූවාය. වැහි පොද එකින් දෙකින් ඇරඹි පොද වැස්ස මහා වැහි බිදු බවට පත්ව එක සීරුවට අහස් කුස සිට පොළෝ තලය  දෙදුරුම් කවමින් කඩා වැටෙන්නට විය. පොද වැස්සට දළු දමා මෝදු වෙමින් තිබූ මල් කැකුළු බොරළු කැට තරම් මහත් වූ වැහි බිදු හමුවේ පරාජිතව නටුවෙන් ගිලිහී පොළෝ තලය සිප ගනිමින් මඩ වතුරේ ගසා ගෙන යන්නට විය. තෙදිනක් පුරා වට මහා වරුසාව දෙස රන්මලී බලා උන්නා පමනි. අඩු වෙමින් වැඩි වෙමින් නොනවත්වා කඩා හැලෙන වැසි දියට රන්මලීගේ සිතිවිලි ද සේදී යන්නා සේය. මගුල් දින අදින්නට සිතා උන් සුදු මල් සහිත සාරිය හා හා පුරා කියා අදින මුල්ම දිනයේ වැසි දිය වැටී කිළුටු වනවාට  අකමැතිවූ රන්මලීගේ සිත නොසන්සුන් වූවාය. ජයසිරිගෙන් ලද ප්‍රතම ත්‍යාගය මෙතෙක් දවස් රක්ශා කළෙ එයින් ම සැරසී ඔහු අත ගැන්මටයි. අනෝරා වැසි වැටී සිය සුමුදු සාරිය  කිළුටු වේ යැයි සිතා රන්මලී ලතැවෙද්දී නැන්දා ඇතුළු ඇගේ හිතවතුන් හෙට දින  උදාවන සුබ කටයුත්තට කඩිමුඩියේ සූදානම් වූවෝය.

“රන්මලී දැන් ඇති නොවැ ඔය කල්පනාව……, ගිහිං අර කේතලේ ලිපේ තිබ්බනං”

‘කට්ටියම තේ බීල ඉන්නෙ නැන්දෙ.” යි කියමින් මාලතී කාමරය තුළට පැමිනියාය.

“හෙට අදින ඇදුම් සේරම හරි නේද අක්ක.”

“සාරිය නම් හරි නගා, ඒකට දාන්න මුතු පටක් තෝරල දෙන්නකො,

“ම්………සාරියත් බලන්ට ගන්නකො.”

මේ……ං නගා සාරිය , මේ පෙට්ටියේ ඇති මුතු පට දෙකක් ඔයා හොද එකක් තෝර දෙන්නකො.”

මතු සම්බන්ධයි………..

 

Permalink ප්‍රතිචාර 11

සුදු සේල (සය වන කොටස )

2010 ජූලි 11 at 10:27 පෙරවරු (වර්ගීකරණය නොකළ)


“රන්මලී අක්කේ” යි උස් හඬින් පවසමින් ම මාලතී රන්මලීලෑ වැට කොඩොල්ල ළඟ නතර වූවාය.

කමින් උන් බත් පත ද රැගෙන ගෙමිදුලට බට නැන්දා

“මොකෑ මාලතියෙ කෑ මොර දෙන්නෙ.” යි පවසත් ම රන්මලීගේ සිත තුළ මෙතෙක් පැවැති තාන්තුවා ගතිය පහව යන්නට විය.

“කෝ නැන්දෙ රන්මලී අක්ක.”

නැන්දා පිළිතුරු දීමට පෙර ගෙමිදුලට පිවිසි රන්මලී මාලතීට කතා කරන්ට වූවාය.

“මාලතී නගා නාන්ට නෙවද යන්නෙ, ඇවිත් ටිකක් ඉඳගන්ටකො, මාත් එනව නාන්ට යන්ට.” යි පවසා ගෙතුළට වැදුනු රන්මලී පනිට්ටුවට රෙදි ඔබමින් ම “නැන්දෙ මමත් යනව වැව දිහාට.” යි පවසමින් ම මාලතීට එකතු වූවාය.

“හැන්දෑ වෙන්ට කලියෙන් නාගෙන වරෙල්ල.”

තාම ඉර මුදුන් වුණා විතරයි නෙව, හැන්දෑ වෙනකං මොනව කරන්ටද නැන්දෙ.” යි මාලතී පිළිතුරු දෙන්ට වූවාය.

වැට කඩොල්ලෙන් පැන ගුරු පාරට බැස මද දුරක් ගෑටූ පසු මාලතී දෙසට හැරුණු රන්මලී ” ඈ නගා සිරිදාස අයිය තාම ආවෙ නැද්ද.”?

“මොකෑ අක්ක ඔය හැටි හදිස්සිය,? මද්දු අයිය කොහොමත් එන්නෙ හැන්දෑ වෙලා නෙව.”

“නෑ නගා මං සිරිදාස අයිය අතේ ජයසිරිට ලියමනක් ඇරිය.”

ආ…………. ඒක තමයි මේ හොරේ, හැන්දෑ වෙද්දි මද්දු අයිය එයි. නාල අහවර වෙලා අපේ දිහා යංකො.”

“මට හරි බයයි නගා, සුමාන තුනකින් විතර ජයසිරිගෙන් කිසිම පයිංඩයක් නෑ.”

“ඉන්තේරුවෙන්ම මද්දු අයිය අද විස්තරයක් දැන ගෙන එයි අක්ක බය ගන්ට කාරි නෑ.”

“හෙනක් බතක් කරගන ගම ඉන්ට කියල මං කී වංගියක් නං කිව්වයි, පතල් හාරන්ටම තමා හිත තිබ්බෙ.”

“අනේ අක්ක හූල්ලන්නෙ නැතුව එන්ටකො, සුනංගු උනොත් නැන්දගෙනුත් බැනුම් අහගන්ටයි වෙන්නෙ.”

“ජයසිරි මේ කරන වැඩ හින්ද නැන්දලගෙ හිතේ තියෙන අමනාපෙ තවත් වැඩි වෙනව නගා, එයැයි ඒකත් ටිකක් හිතන්න එපාය.” යි කියමින් රන්මලී අත රැදි පනිට්ටුව පසෙකින් තබත් ම මෙතෙක් වේලා හැලහොල්මනක් නොමැතිව එකම රටාවකට රැළි නැගි වැව් දියට බාදා පමුණුවමින් මාලතී දියට බැස ඒ මේ අත පීනන්ට වූවාය. වැව් ඉවුරේ විසල් ගස් හෙවනක පහස ලබමින් උන් රන්මලී දිය රළ හා එක්ව කෝල වන නෙළුම් මල් දෙස නෙත් යොමා සිටියාය.

“ඔය හැම කාරණේකටම උත්තර අද හැන්දෑ වෙනකොට ලැබෙයිනෙ.” යි කියමින් මාලතී දියෙන් ගොඩට විත් රන්මලීගේ අතින් ඇදගෙන ම යළි දියට බසින්නට වූවාය.

“දෙන්න එකතු උණු තැන කුටු කුටුව මිස වෙන වැඩක් නම් නෑ නෙව.” යි කියමින් ම නැන්දා ද වැව් දියට බසින්ට වූවාය. නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලීත් මාලතීත් උන් හිටි තැනින් ඉවත්ව ඒ මේ අත පීනා යන්ට වූවෝය.

දැඩි හිරු රැස් කිරණින් නික්මුණු තාපයෙන් රත් වූ වතුර හැළියක දිය මෙන් උණුසුම් වූ වැව් දියෙන් ගිනි ගෙන දැවෙන රන්මලීගේ සිතත් ගතත් නිවා ගත නොහැකි වූ රන්මලී කයටත් වැඩි සිතුවිලි බරින් මිරිකී ගොඩ අතට පීනා යන්ට වූවාය. තෙත බරිවී ඇඟට ම ඇලී තිබූ දිය රෙද්ද නිසාවෙන් ඉස්මතු වී පෙනෙන සිය සිරුර දෙස මද වේලාවක් බලා සිටි රන්මලී දිගු සුසුමක් ඇද නැවත එය වා තලයට ම මුදා හැරියාය. තෙත රෙදි අහවර කරමින් සුදු පැහැ පසු බිමේ නිල් පැහැති කුඩා මල් වැටුණු චීත්ත ගවුම ඇඟ ලා ගත් ඈ නැන්දා සබන් ගා අපුල්ලා ගල් පොත්ත මත තබා තිබූ රෙදි දියේ ඔබා සබන් හැර පනිට්ටුව තුළට දමා වෑ කණ්ඩියට ගොඩ වෙත්ම මාලතී ද ඇයට එකතු වූවාය.

වැව් බැම්මේ ඈත කෙළවර දෙස නෙත් දල්වා මදක් බලා සිටි රන්මලී මාලතීගේ අත තදින් මිරිකා සුළඟේ පාව යන සුමුදු මල් පෙත්තක් විලසින් වැව් බැම්මේ ඈත කෙළවර දෙසට පාව යද්දී මාලතීගේ දෑස් ද එදෙසට යොමු වූවාය. ජයසිරිගේ නෙත් අභියස නතර වූ රන්මලී අසන්නට කියන්නට වූ දාහක් දේ වලින් කුමක් කෙසේ ඇසිය යුතුදැයි සිතා ගත නොහැකිව ලත වෙද්දී “අක්ක දැන් නැන්දත් දියෙන් ගොඩ එයි; හනික ගියොත් නේද හොඳ.” යි මාලතී පවසත් ම රන්මලී කිසිත් නොදොඩාම ජයසිරිගෙන් ඉවත ගියේ මාලතීගේ වදන් යදම් පටක් සේ සිය දෙපා ගැට ගසා ඇදගෙන යන්නාක් වූ සෙයිනි. මග තොට හමු වූ කිසිවෙකු ගැන වත් ඇසූ කිසිවක් පිළිබද වත් අනවබෝදයෙන් ම රන්මලී මාලතීගේ මෙහෙයැවීම මත සිය ගෙපැලේ පිල මත ඉද ගත්තාය. 

මතු සම්බන්ධයි…………

Permalink ප්‍රතිචාර 14

සුදු සේල (පස් වන කොටස )

2010 ජූලි 1 at 6:53 පෙරවරු (වර්ගීකරණය නොකළ)


ආප්ප වට්ටිය කඩේ මාමාගේ අතට දුන් රන්මලී නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ කඩේ මාමා ආප්ප වට්ටිය තුළ වූ ආප්ප ගනින්නට වූයෙනි.

“ඉඳා………… කෙල්ල ඊයෙ කාසි.” කී සැනින් රන්මලී කාසි ටික ගෙන ආපසු හැරී ගුරු පාරට බැස්සේ කඩේ මාමාගේ කතාව අහවර වෙන්නටත් කලියෙනි.                           

කඩ පිලේ වූ කබල් පුටුව බර කරමින් කහට කෝප්පයක් තොල ගාමින් උන් සිමියොං අප්පු ද රන්මලී ඈත ගුරු පාරේ නොපෙනී යන තෙක් නෙත් දල්වා ගෙන සිටියේ කුමක් වූයේ දැයි වටහා ගත නොහැකිවූ හෙයිනි.

“ඈ…………. මුදලාලි රන්මලී කෙල්ල මොකෑ අර මුදලාලිගෙ කතාව අහවර වෙන්ටත් කලියෙන් දුවන්ට තියාගත්තෙ.”

“මං ඒකිට ඊයෙ පයිංඩයක් කිව්ව උන්නෙ නැන්දට කියන්නෙයි කියල, ඒක අහන්න හැදුව විතරයි ඒකි දුවන්ට තියාගත්ත නොවැ.”

“එකත් එකටම මුදලාලි ඒකිට පයිංඩේ කියන්ට අමතක වෙන්ටෑ”

“මාත් හිතුව බං සිමියොං,ඒත් බං ඕකට ඔය හැටි බයේ දුවන්ට ඕනයෑ, මං හිතන්නෙ ජයසිරිය ගම ඇවිදින් වෙන්ටෑ, ඌව මුලිච්චි වෙන්ට තමා කෙල්ල ඔය අස්ප වේගෙන් දිව්වෙ.”

“කව්දෑ………. මුදලාලි අස්ප වේගෙන් දිව්වෙ.” යි කියමින් ම එතනා කඩේට ගොඩ වූවාය.

“මෙන්න මෙහාට දියං ඔය හැලප ටික.” යි කියමින් මුදලාලි එතනා දෙස නොරුස්නා බැල්මක් හෙලීය.

හැලප තසිම මුදලාලි අතට දුන් එතනා සිය කුහුල මැඩගනු පිණිස සිමියොං දිහාවට හැරුණි.

“ඈ……….. සිමියොං කවුද බං අස්ප වේගෙන් දිව්වෙ.”

“අස්ප වේගෙන් දිව්වෙ බං අස්පයෙක් නෙව.”

ඒබරං මුදලාලිගේ කඩ පිල මත වූ කබල් පුටු තුන හතරත් මිදුලෙහි වූ බංකු කෑල්ලත් බර කරමින් රට තොට තොරතුරු විමසමින් කහට කෝප්පයක් බොන්නට ද අමතක නොකළ බාල මහළු සියල්ලෝම සිමියොං අප්පුගේ පිළිතුරින් උස් හඬින් සිනාසෙන්නට වූයෙන් ගමේ ම ඕපාදූප සොයමින් වල් පල් දොඩන්නට කෑදර වූ එතනාගේ කේන්තිය දෙගුණ තෙගුණ වූවාය.

වෙනදා මෙන් ගුරු පාර දිගටම ගමන් කිරීමට ඉඩ නොදුන් රන්මලීගේ දෙපා ගුණපාල මාමලෑ කුඹුර උඩින් වැටී ඇති නියර දිගේ පියවර මනින්නට වූවාය.

කුඩා අගල් වලින් වටවූ හතරැස් හැඩැති පාත්ති වටා සීරුවෙන් මාරු වීමට හැකි වන ලෙස ඉතිරි කරන ලද නියර වල් සහිත බිම් කඩවල් හැරුණු විට අනෙක් සෑම බිම් කඩකම වැටකොළු, පතෝල, කරවිල, වම්බටු ආදී එළවළු වගා කළ වැලි බිම් සහිත හේන් බිමට ගොඩවූ රන්මලී රතට රතේ ඉදී හිනැහෙන කරවිල ගෙඩියක් ද නටුවෙන් වෙන් කොටගෙනම හේන් බිම ඔබ්බෙහි වූ සිරිදාසලෑ ගෙදර අගුපිල දිහාට පා එසැවූවාය.

“හා…………නේ රන්මලී අක්කා.” යි තෙපලමින් මාලතී අගුවේ වූ කබල් හැළි වළං අඩුක්කු කොට තිබූ මැස්සෙං ලොකු හැළියක් අතට ගත්තාය.

“අක්ක අද පාන්දරම මද්දු අයිය හම්බු වෙන්ට නේද.”?

“මාලතී නගාට තියෙන ඉව.”

“අක්කගෙ මූණෙන් කියවෙනව ලෙඩේ මොකද්ද කියල.”

“මට ඇති ලෙඩක් නෑ නගා.”

“රන්මලී අක්කගෙ ලෙඩට වෙදකං කරන්ට මටවත් අපෙ අප්පච්චිටවත් බැරි වෙයි ඕං……….”

“සිරිදාස අයිය අද එනවැයි නගා.”

“අද හැන්දෑ වෙද්දි එයි මයෙ හිතේ.”

“එහෙනං මං ගිහින් එන්නං නගා.”

“කහට ටිකක්වත් නොබී.”

“කහට බොන්ට හැන්දෑවට එන්නං.” යි කියමින් රන්මලී නිවස කරා පිය මනින්නට වූවාය. සිරිදාස අයියාට ජයසිරි හම්බු වන්නට ඇත. ලියමන කියවා ජයසිරි සමගම ගම එන්ට යැයි පවසා ජයසිරි සිරිදාස අයියාව නතර කර ගන්නට ඇත. ජයසිරි සිරිදාස අයියා සමගින්ම ගම එන්ට පිටත් වන්නට ඇත සිතිවිලි අතරේ සිර වී ඉබාගාතේ දෙපා නගන රන්මලී සිය නිවස්න කරා පැමිණියේ තම සුපුරුදු ඉවෙන් මෙනි. ගෙමිදුලට පැමිණි රන්මලී වැට මායිම අද්දරට වන්නට තිබූ සේපාලිකා මල් ගහෙන් බිමට බට මල් අහුරක් දෝතට ගෙන එහි මිහිරියාව නැහැයට ළංකර  විඳ ගත්තාය. ගෙතුළට වැදුනු ඈ ගේ දොර අස් පස් කරන්නට වූයේ තාන්තුවාවෙනි. උදෑසන ඈ සිත උපන් උද්යෝගය කෙමෙන් පහව ගොසින් ඉස්මතුවූ උදාසීන ගතියකින් යුතුවම ඈ වැඩ පලෙහි නිමග්න වූවාය.

මතු සම්බන්ධයි…………

Permalink ප්‍රතිචාර 14

සුදු සේල (සිව් වන කොටස )

2010 ජූනි 24 at 12:07 පස්වරු (වර්ගීකරණය නොකළ)


වැව් දියේ පිපි නෙළුම් මල් දිය රළ හා එක්ව රඟන රැඟුම බැල්මට මෙන් වැව් ඉවුරේ දිරා ගිය කඳන් මතට වී වැව් දියට ම නෙත් ඔබා ගනිමින් උන් පිළිහුඩුවෝ එකා දෙන්නා විටින් විට දිය තුළට එබෙමින් මාළු කූරියන් ඩැහැ ගත්තේ ඉවුරු කොණේ හැල හොල්මනක් නොමැතිව තපස් රැකි කොකුන්ගේ තපස් ඉරියව්වට ද බාදා පමුණුවමිණි. පිළිහුඩුවන්ගේ පියාපත් හඬින් අවදි වුණු විටෙක ගෙල උස්සා ශබ්දය නැගි දෙසට නෙත් යොමු කළ කොක්කු කෑදර සිතින් යුතුව නැවතත් දිය තුළට ම නෙත් ඔබා ගන්නට වූවෝය. පෙර දිනක දී සැදෑ වරුවේ වැව් ඉවුරේ දකින මේ සොඳුරු සිත්තම් පෙළහරින් ඔකඳ වන රන්මලී සිතුවම් පටයක එකම දසුන කීප විටක් නැරඹීමෙන් මඩින ලද සිතින් යුතුව ම මෙදින නිවහන කරා ළඟා වූවාය. මෑත් කර දමා තිබූ වැට කඩොල්ලෙන් ගෙමිඳුලට වන් රන්මලී වතුර බේරා හැරි තෙත රෙදි මිඳුලේ පසෙකින් ඇද තිබූ ලණු වැල් පට මත දමා ගෙතුළට වැදුනාය.

“ඈ කෙල්ලෙ දවාලට බත් නොකා මොනවැයි කෑවෙ.”

“මක්කවත් කෑවේ නෑ.”

“බත් නොකන්නෙ.”

“හිතට පිරියක් නෑ.”

“ආ……ං මම කොච්චි අහුරක් දාල ලුණු මිරිසක් තලල ඇති මාමගෙ බත් පතට අයිං කොරල කාහං.”

“නැන්ද කෑවයි.”

“මමත් හේනෙදිම කනව.”

මුළුතැන් ගෙට වැදුණු රන්මලී නැන්දාගේ ලුණු මිරිසේ සුවඳත් එක්කම බත් කෑව හැකි යැයි සිතමින්ම බත් බෙදා අවසන  බත් පතද රැගෙන නැන්දා අසලට පැමිණ පෙර නොකෑ විරූ කෑමක් කන්නා සේ බත් කන්නට වූවාය.

“කාල අහවර වෙලා හේනට ගෙනියන කලමනා සූදානම් කොරහං කෙල්ලෙ, බිං කරුවල වැටෙන්ට කලියෙන් හේනට දුවල එන්ට.”

“ලබු කැටේට වතුර ටිකක් පුරවන්ට විතරයි ඇත්තෙ.”

“හා….. එහෙනං උඹ හීන් සැරේ කාහං”

“මම හේනට දුවල එන්නං.” යි කියමින් නැන්දා පිළිකන්න පැත්තෙන්ම මිදුලට බැස හේන දිහාට පා එසැවූවාය.

මොහොතින් මොහොතම රන්මලීගේ සිත තුළ අලුත් සිතිවිලි මතුව ලියලා වැඩෙයි. මාමාත් නැන්දාත් තමන්ට දරුවකුට සේම සළකා රක්ෂා කරන්නෝය. ජයසිරි පැමිණ ඔවුන් මුණගැසී කතා බස් කොට නිසි පිළියමක් යෙදුව හොත් ඉදිරියේ දී සියල්ලන්ට ම මූණ දෙන්නට සිදුවන කරදර දුරුකර ගත හැකි නොවේදෝයි සිතමින් ම රන්මලී නින්දට පිවිසියාය. හෝරාවක් දෙකක් පමන රන්මලීගේ සිත තුළ පෙරලි කළ සිතිවිලි නිදි දෙව් දුවගේ ග්‍රහණයට ද අසු නොවීමෙන් රන්මලී රාත්‍රිය පුරාම වාගේ ඒ මේ අත හැරෙමින් උන්නාය. කුකුළු හාමිලාගේ හඬ් ඇසෙත්ම අවදි උණු ඈ මුළුතැන් ගෙට ගොස් වතුර කේතලය ලිප තබා එදෙස බලා සිටින්නට වූවාය.

“අද මොකෑ මේ වෙලපහින්ම.”

“නැන්දාගේ වදන් කණ වැකුණු ඈ නැන්දා දෙසට හැරී ආප්ප පිටි හැළිය අසලින්ම වූ කොට බංකුව මත හිඳ ගත්තාය.”

‘නින්ද යන්නෑ, හරියට රස්නෙ…….. රෑ තිස්සෙම වාගෙ අවදියෙනුයි මයෙ හිතේ.”

“ඕ……..ං ඔය පොල් ගෙඩිය ගාල ගනිංකො හනික.”

“නැන්දෙ කඩේ මාම කිව්ව නැන්දට කියන්නය කියල පයිංඩයක්.”

“මොකද්ද බං ඒ.”

“තව පිටි චුට්ටක් වැඩියෙන් වක්කොරන්නෙයි කිව්ව.”

“උන්දැට නම් කිව්ව හැකි පිටි වැඩි කෙරුවට උන්දැ කාසි වැඩිපුර දෙනවයි.”

“මෙදා පාර හේන් කෙරුවාවත් ලේසි වෙන පාටක් නෑ, මේ අව් කූටකේට සේරොක්කොම පිච්චෙන ගානයි.”

“වැවෙ වතුරත් දැන් අඩු වෙච්චි ගානයි නැන්දෙ.”

“හේනක් බතක් කර ගන්ට තියා බොන්ට වතුර කඳුළක් ඉතිරි වෙයිද කියලයි මට සැක.”

පොල් අතු හෙවිලි කර කටු මැටි බිත්තියෙන් බඳින ලද වා කවුළුවකින් තොර වූ  කුඩා මුළුතැන් ගෙයි බිත්ති පුරා බැඳුණු දැලි අගුරු පැල්ලමින් දැඩි වූ අදුර මකාලමින් මෙතක් වේලා ලිප තුළ දැවුණු කොළපුව ද ළා ගිනි පුලිගුවක්ව අවසන නිවී යන්නට විය. ආප්ප පිටි හැළියේ අවසන් ආප්ප කීපයට පිටි ඉතිරි වෙද්දී දෙදෙනාම වෙන් වෙන් වූ සිය කාරියන් උදෙසා සිතත් ගතත් යෙදවූවාය. ආප්ප වට්ටියද දෑතින් ගත් රන්මලී කඩමණ්ඩිය දෙසට පා තබන්නට වූයේ කඩිසර විලාසයක් පාමිණි. ගුරු පාර දෙපස ගස වැල් දුහුවිල්ලෙන් නැහැවී උදාසීන ගතියක් පෑවා වැනිය. උදෑසනක තිබිය යුතු පියකරු බව පෙරදා රාත්‍රියේදීම අතුරුදන් වූ සෙයකි. පරිසරය පුරාම තාන්තුවා ගතියක් දක්නට වේ. චණ්ඩ තාපයෙන් කේඩෑරි වී ගිය ගසුත් වැලුත් මළ ගමක සිරිය පෙන්වන්නාක් සේ මළානික ලෙසින් බිමට නැබුරු වී ගත් කොළ අතුත් මලුත් දූවිලි මුසු වූ මද සුළඟට ඒ මේ අත සැලෙන්නට විය. පරිසරයේ මේ අමුතු වෙස් ගැන්ම රන්මලීගේ දෙනෙතට හසු නොවීය ඈ හනි හනිකට කඩමණ්ඩිය දෙසටම පාතැබුවාය.

මතු සම්බන්ධයි……………

 

Permalink ප්‍රතිචාර 27

පුංචි බාලිකාවියේ……..

2010 ජූනි 19 at 8:42 පෙරවරු (කැඩපත් පවුර)


වෛවාරණ කමිස කෑලි

ඉනෙන් හැලෙන ඩෙනිම් කලිසම්

ඇඟ ලා ගෙන උජාරුවට

දඬු මොනරේ පිට නැග ගෙන

තක්සලාවෙ වැටෙන් එහා

මාන බලති ප්‍රේම කුරුල්ලෝ

මලවිගෙ මල් හීසර විද

ඩැහැ ගන්නට නුඹෙ හිත් මල…..

මල් හී සර වැදුනු කලට

උන්නෙ ඇඟේ පිත්තල තඹ තහඩු ගොන්න

පෙනෙයි නුඹට රන් රිදියෙන්

පුංචි බාලිකාවියේ…..

වහං වෙයං හනික පොත් පිටු අතරේ…..

Permalink ප්‍රතිචාර 20

පොඩි සාදු…….

2010 ජූනි 15 at 9:28 පෙරවරු (කැඩපත් පවුර)


 

බෝ මළුවේ මද සුළඟේ

බවුන් වඩන පොඩි සාදූ

බණ මඩුවේ දැහැමි සිතින්

බණ දෙසනා පොඩි සාදූ

කසාවතින් සැරසුණු නුඹ

දකිනා සඳ,

නිල් වන් ගුවන පුරා

සැහැල්ලුවට පාවී ගිය

සරුංගලය සේ

වෙල් එළියේ දුව පැන දඟ කළ

මගෙ සකි සඳ සිහිවේ මට……….

Permalink ප්‍රතිචාර 24

සුදු සේල( තුන් වන කොටස )

2010 ජූනි 10 at 1:01 පස්වරු (වර්ගීකරණය නොකළ)


ගුරු පාර කෙළවරේ උසට වැඩුණු සියඹලා ගස් හෙවනේ ඉදි වූ කුඩා කඩ කෑල්ලෙ පිළ මත වූ බංකුවට බර දී වාඩි ගෙන උන් උදවිය රන්මලීගේ පැමිණීම බලාපොරොත්තුව සිටි බැව් ආප්ප වට්ටිය සැනින් හිස් වූයෙන් රන්මලීට ද වැටහිණි.

“ළමයෝ කඩයප්පන් ගේන කොට පාන්දරම ඇරන් එනව නම් තමා හොඳ.”

“අපි මේ කෑමක් බීමක් නැතුවයි බලාන උන්නෙ.”

“අනේ මාමෙ අද නං ටිකක් සුනංගු උනා තමා.” යි කියමින් රන්මලී සුනංගුවට කමා වෙනු යි කියනා දෑස් පිළ මත වාඩි වූවන් වෙත පෑවාය.

“මේ…….ං ඊයෙ කඩයප්පං වල සල්ලි, නැන්දට කියහං තව චුට්ටක් වැඩියෙන් පිටි වක්කරන්න කියල.”

කඩේ මාමාගෙන් ලද සොච්චම් මුදල ද අත්ලේ ගුලි කොට ගනිමින් රන්මලී තඹ පැහැ ගැහුණු ගුරු පාරට බැස සැහැල්ලු සිතින් නිවස වෙත පා තබන්නට වූවාය. රෑ ජාමේ වැටුණු හීන් පින්නෙන් නව පණක් ලබා තිබූ ගහ කොළ කෙමෙන් මෝදු වන අව් රශ්මිය නිසාවෙන් මලානික බවක් පෙන්වන්නට විය. හමා ගිය වියලි සුළගේ අධාරයෙන් ඒ මේ අත විසිර යාමේ වරම් ලද තඹ පැහැ ගත් දූවිලි රන්මලීගේ දාහය නැගි වත ද සිඹිමින් උදාමයට පත් වෙද්දී තද හිස රුදාවකින් පෙළුණු රන්මලී නිවසට ගොඩව තෙල් අහුරක් ගෙන හිස් මුදුනේ අතුල්ලන්නට වූවාය.

“ඈ කෙල්ලෙ අදත් ඔය හිසේ ඇම්මද.? දැන් දෙතුන් දොහක ඉඳන් මං බලාන හිටියෙ ,මයෙ හිතේ ඉරුවාරදේ වෙන්ටෑ.”

“හ්ම්………හවස් ජාමෙ වෙද මාමලෑ දිහා යන්ටයි මං හිතුවෙ.”

“ඕකට ඇති බෙහෙතක් නෑ,ඉර බහින එක තමා ඉතිං බේත.”

“දවල් බතට මොනව හරි කොළ මාළුවක් හදා ගනිං කෙල්ලෙ, මාත් හේන දිහාට ගොහිං එන්ට.”

වැට කඩුල්ල මෑත් කොට ගුරු පාරට බට නැන්දා ඈත නොපෙනී යන තුරුම දිරා ගිය කඩුල්ලට මෑතින් හිද බලාන උන් රන්මලී අනතුරුව හීන් වැල්ලෙන් යුතු ගෙමිදුලේ තම නග්න පා ඔබමින් විත් වරිච්චියෙන් ඔප මට්ටම් වූ සිය ගෙපැළේ පිළ මත ඉඳ ඈත වෙල් එළිය පිස හමා එන සිහිල් සුළගේ ආශ්වාදය විඳිද්දී ඇගේ දෙනෙත් සිය හිසට උඩින් පියාඹා ගිය ගේ කුරුළු ජෝඩුවගේ ප්‍රේමාලිංගනය දෙසට යොමු  වූවාය. කිරිල්ළියක සේ තමා ද සිය පෙම්වතා සමගින් පෙමින් වෙළුන එ දවස රන්මලී සිහි කළාය. ගේ කිරිල්ළී සිය සහෘදයාගේ කණට කොඳුරා යමක් පවසා ලජ්ජාශීලී ගතියක් පෑවා වැනිය. කිරිල්ළගේ වදන් කණ වැකුණු හේ උද්දාමයට පත්ව බඳ පුම්බා තටු ගසන්නට විය.ගෙතුළට වැදී ලියමනට අකුරු ගොනු කළ ඇයට ගේ කුරුල්ලා උද්දාමයට පත්ව බඳ පුම්බා තටු සැලූ අයුරු සිහිපත් විය.සිත පුරා නැගි සුන්දර සිතුවිලි එකිනෙක තෙරපෙද්දී ලියා අහවර කළ ලියුම් කඩදහිය පරෙස්සමට පසෙකින් අරන් තැබූ ඈ නැන්දා දවල් බතට ගෙදර එන්නට කලියෙන් කෙහෙල් මුව බැදුමකුත් කිරි අල මාළුවකුත් පිළියෙල කර වැව දිහාට යන්නට සූදානම් වූවාය. සිරිදාස අයියා මගහැරුනොත් යැයි සිතූ ඈ ගමනට සුනංගු වූවාය.

ගෙමිදුලට බට රන්මලී වත්ත පුරා වැටී තිබුණු කොලපු, ඉපල් ආදිය ගොනුකොට දර මඩුවේ පසෙකින් දමද්දී වැට කඩුල්ල පැන ආ සිරිදාස රන්මලීලෑ ගෙපිළට බර වූවේය.

“සිරිදාස අයිය වේලපහින්ම.”

“ආ…….. ඔව් නගා මං මේ හේනෙ දිහාවෙ ඉදං ගෙදර යමිං ගමන, ආයෙ වංගියක් තකහනියෙ එන්ට ඕනැන්නෙ නෑ නෙව, නගා ලියමන ලීවයි.”

“ඔව් අයිය මම ලියමන නං ලීව ඉන්ට මං ගෙනත් දෙන්ට, සිරිදාස අයියට පිං අත් වෙනව මේ කරන උදව් වලට.” යි කියමින් රන්මලී සිරිදාස අත ලියමන තැබීය.

“මේක ඒ හැටි කාරියක්යෑ නගා.”

“අයියට කහට ටිකක් වක්කරන්නෙයි”

“සුනංගුවෙලා බෑ නගා මං ගොහිං එන්නං.”

සිරිදාසගේ පිටව යාමත් සමගම රන්මලී වැව දිහාට වැටුණු ගුරු පාර දිගේ හෙමි හෙමින් ඇදෙන්නට වූවාය. ඈතින් පෙනෙන කොළ පැහැයෙන් දිලෙන ගොයම් ගස් ද  රන්මලීගේ ලතාවට මෙන් මද සුළඟේ පහසින් නැළැවෙන්නට වුව ද මේ කිසිවක හෝඩුවාවක් නොදත් රන්මලී වෙල් යාය පසු කොට විත් වැව් ඉස්මත්තේ වූ ගස් හෙවනක වාඩිවී සිය අතීතය ආවර්ජනය කරන්නට වූවාය.

වැවට ආ හැම මොහොතකම රන්මලීගේ තනි නොතනියට එදවස නම් ජයසිරි පැමිණියේය. වෑ ඉස්මත්තෙන් එපිට බැද්දේ රන්මලී හා පෙමින් වෙළුන ජයසිරි………….

ජබුක්….. ජබුක්……

වැව් දියට ඇදුනු කබරයෙකුගේ හඬින් රන්මලීගේ සිතුවිලි විසිර යන්නට විය. ගස් සෙවනෙන් මෑත් වූ රන්මලී ද වැව් දිය හා එක්ව වැව් දියේ පහස ලබමින් ඒ මේ අත දියබුං ගසන්නට වූවාය. වැව් දිය මත පාව යන මල් පියල්ලක් මෙන් රන්මලී ද වැව් දිය තුළ පීනා යන්නට වූයේ තම ලියමන දුටු විගස ජයසිරි තමා බලන්නට ඒ යැයි සිත පුරා නැගි සිතුවිල්ලෙනි.

තම දැවැන්ත අඬු පහුර විදහාගෙන ගොදුරු සොයමින් උන් විසල් මකුළුවකු ගොදුරු නැති සොවින් අඬු පහුර හකුළුවාගන අන් තැනකට යන්නා සේ දිවා කල අහස් තලය පුරා විහිදවාලූ චණ්ඩ කිරණ හකුළුවා ගනිමින් හිරු සැඟවී යන්නට වෑයම් කරන මොහොතේ රන්මලී ද වැව් දිය මතින් විත් තම නිවහන කරා ඇදෙන්නට වූවාය.

 මතු සම්බන්ධයි……

Permalink ප්‍රතිචාර 17

කාසි පනම් නැති දෝතට………..

2010 ජූනි 7 at 3:28 පස්වරු (කැඩපත් පවුර)


දේදුන්නේ පාට පාට

සමනළයින් රෑන් රෑන්

එහෙ ඉගිලෙති,

මෙහෙ ඉගිලෙති

ආසයි මට ඉගිලෙන්නට

රන් සමනළයින් අතරේ

මල් පෙති වල පාට පාට

දෝතින් ගෙන ඇඟ තවරා

මද පවනේ පාවී යන

මල් පෙති විලසින

ආසයි මට පාව යන්න

සුවඳ හමන මල් පෙති අතරේ

කාසි පනම් නැති දෝතට

ආසාවන් බර වැඩි හින්දා

සුවඳ හමන මල් පෙති අතරේ

තටු සලනා සමනළයින් දෙස

දෙනෙත් අයා බලා හිඳින්නම්………..

Permalink ප්‍රතිචාර 15

Next page »