නාවික ඉන්ජිනේරුවාගේ බිරිඳ…

2010 පෙබරවාරි 26 at 3:44 පස්වරු (කැඩපත් පවුර)


 

නුඹ කොතැනද..?

මා කොතැනද..?

එකම එක අහසක් යට

එකට හිඳිනට

පැතූ ප්‍රාර්ථනා මල්

පීදුනා….

නමුදු,

නුඹ ඈතක

මම මෑතක

සයුරු රළ රැළි

බිඳී විසිරෙන

වෙරළ ඉමක හිඳ

කුඹ ගසක සේයාව දැක

සැනහෙන්නටද

වරම් නොමැත මට

හිමි සඳුනේ…..!

රෑ තුන්යම

සිහින දකින කලට

මගේ යහනට

වඩිනු මැනේ……

Permalink ප්‍රතිචාර 8

අප්පච්චී…

2010 පෙබරවාරි 23 at 3:51 පස්වරු (කැඩපත් පවුර)


මහමෙරු දරු දුක හිසින් ගෙන

මුතු කැට දහදිය වගුරවමින

දෑසේ උතුරන දරු පෙම්

ළය මඬලේ සඟවමින

සිටියද නුඹ,

සෙල් පිළිමය වෙස් නගාන

ලෝතුරු සුවඳයි අප්පච්චී

මට නුඹ හැමදාම…….

Permalink ප්‍රතිචාර 4

අම්මා

2010 පෙබරවාරි 16 at 4:40 පස්වරු (කැඩපත් පවුර)


අටලෝ දම් සක මතින්

හමා යන වේරම්භය මැඩ

සිව් බඹ විහරණින්

කඳුලු දහදිය එකට පිඬු කොට

නුඹ තැනූ ලෝකය

කල එළි වෙද්දී

තමළු පෙති මත සිනිඳු හැඩැති රටා වන්

නුඹෙ දෑතේ කෝමල රේඛා

දියව ගිය බැව් දනිමි

මෙතේ බුදුනි…………..

Permalink ප්‍රතිචාර 6

යාදිනියකගේ වියෝව

2010 පෙබරවාරි 5 at 12:35 පස්වරු (කැඩපත් පවුර)


නැත ගොක් කොල රැහැන් පටි

නැත සුදු කොඩි වැල් ද ඇද

නැත මල් වඩම් පෙනෙන්නට

නැත සෝ සුසුම් හෙලන්නට ද කිසිවෙකු

එනමුදු ඇත ඈ සතුව

හිස්ව ගිය බෙලෙක්කය,

කිලුටුව ගිය කඩමලු පොදිය….

 

සොහොන් කොත් බැඳි පාලු ඉසව්වේ

නැති මුත් අහස උසට බැඳි කොතක්

ඇති හැකි මිනිසුන් අතරේ සැතපෙන්නට

ඇත ඇයට ද වෙන්ව බිම් කඩක්

නැත, ඇති හැකි, නැති බැරි වෙනස

පොළෝ ගැබ තුළ ඇයට දැනෙන්නට…….

Permalink ප්‍රතිචාර 6