සුදු සේල (පළවන කොටස)

2010 මැයි 27 at 4:58 පෙරවරු (වර්ගීකරණය නොකළ)


රන් වන් කිරණ විදහා උජාරුවට පායා තිබූ හිරු හදිසියේම කොහේ හෝ සැඟව පරිසරය පුරාම අදුරු වළාවන්ගේ කලු සෙවනැලි පතිත වෙද්දී වැව් බැම්ම මත රෙදි ගොන්නත් ඔලගුවේ ඔබා ගෙන ඈත අහස දිහා බලාන හිටිය රන්මලීගේ සුසුම් සමගින් අදුර ඈ වටා එහා මෙහා සක්මන් කරන්නට විය.

“ඈ ළමයෝ මම මේ කීයෙ ඉදන් බලාන ඉන්නවයි, මොකද හැබෑටම වෙලා තියෙන්නෙ”

“නෑ මං මේ කල්පනා කළේ මේ වැව නැතිවුණ දාක අපට මොකද වෙන්නෙ කියල.”

“වෙන  මොනව වෙන්නෙයි,වැවේ වතුර ටික හිදුනු දාක හව්හරණක් නැතුව මේ අව් කූටකේටම අපිවත් අළු වෙලා යාවි.”

ඈ නැන්දෙ වැව නැතිවුණ දාක අපිත් නැති වෙනව කියල හිතන්න නරකයි, හිතේ හයියෙන් පණ කෙන්ද රැක ගන්ටයි බලන්ට ඕනෑ,ආයෙත් දොහක වැවේ වතුර වාං දමන දවසක් එන්නෙ නැතෑ.”

“ඕ…..ං ඔය කයි කතන්දර නතර කොරල පය ඉක්මන් කොරහං,අර මනුස්සයගෙ කෑම ටික ගෙනියන්නත් තියෙනව.”

“මං මේ රෙදිටික හෝදාන එන්නං නැන්ද යන්ට.”

“මොන රෙදි හේදිල්ලක්ද දැන් යමං යමං.”

අවසන නැන්දාගේ බහට අවනත වූ රන්මලී සුනංගු වීමේ වරදට නැන්දාගේ මුවින් ගිලිහුණු නොහොඳ නෝක්කඩු වලින්  දෙසවන්ද පුරවා ගනිමින් නිවස්න දෙසට පා නැගුවාය.

මුළුතැන් ගෙට වැදුනු රන්මලී රාත්‍රී අහර සඳහා සූදානම් කර තිබූ බත් මාළු පිනි ආදිය එක් කොට මඩක්කුව පුරවා, ලබු කැටේට වතුරද පුරවා පිළ මත තැබුවාය.නැන්දාගේ බත් පතද වෙන් කොට කා බී අහවර වී මුළුතැන් ගේ අතු පතු ගා දැමූ ඈ පැදුරු කඩමාල්ලක් එළා එහි දිගා වූවාය. නිදි පැදුරේ දී රන්මලී ගේ හිත ඇතුලේ නොයෙක් සිතුවිළි පහල වන්නට විය. නැන්දා ගේ නොහොද නෝක්කඩු හමුවේ ඈ ගම් මැද්දේ ජයසිරි සමගින් පෙම් බස් දෙඩූ හැටි………….., වෑ කන්දේ දෙ අත් පටලා ගෙන පෙම් ගී ගැයූ හැටි……….., එ දවස් මොනතරම් මිහිරි වුවද ඒ මිහිර විදගන්නට නොහැකිව ඈ දැන් නිදි පැදුරේ ලත වෙන්නී.

මතු සම්බන්ධයි…

Permalink ප්‍රතිචාර 14

බුදු පියාණනේ……..

2010 මැයි 23 at 3:53 පස්වරු (කැඩපත් පවුර)


අදැහැමි සිතිවිල්ලෙන්

දැවෙන තැවෙන

මනුසත් සිතිවිලි

මෙත් සිසිලෙන් තෙමා

නිවා සනහා,

අමා දම් රස

මනුසත් සිත් තුළ

වඩා හිඳුවා,

කරුණා රසයෙන්

ලොව නහවා ලන්නට

මුදු බුදු බණ පදයක්

දෙසා වදාළන්නට

වඩිනු මැන බුදු පියාණනේ…………….

Permalink ප්‍රතිචාර 9

විජයට පෙර අපේ රජවරු

2010 මැයි 17 at 10:12 පෙරවරු (ශාස්ත්‍රීය)


ලක් දිව පළමු රජු විජය ලෙස මහාව0සයේ සදහන් වුව ද විජයගේ පැමිණීමට පෙර අවුරුදු දස දහස් ගණනක් ඈතට දිව ගිය අපේ ඉතිහාසයේ එන රජවරු කවුරුන්දැයි විමසා බැලීම වටී.

විජයගේ පැමිණීමට බොහෝ කාලයකට පෙර “ල0කාදීප”, “හෙළ දිව” ආදී වශයෙන් ප්‍රචලිතව පැවති මෙරට “ලග්ගල” සිය අගනුවර කොට ගනිමින් රාජ්‍ය විචාළ “සි0හ” නම් රජෙකු විය. මෙම පෙදෙස වත්මනේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයන්ට අයත් පෙදෙසකි. එකල ප්‍රධාන ජනාවාසය ලෙස “මීමුරේ” ගම පවතින්නට ඇති බව පහත ගැමි කවියෙන් ප්‍රත්‍යක්ෂ වේ.

       “එපිට කන්ද කළු පහනේ      කැළේයා

       මෙපිට කන්ද ලග්ගල           මීමුරේයා

       දෙඩිය දෙකක් උස ඇති        ගෝමරේයා

       හොඳයි පරකාස ලක            මීමුරේයා”

සි0හ රජු රජ කරන සමයේ “වේලායුධ” නම් කුමාරයෙක් දකුණු දඹදිව සිට මෙරට පැමිණ සි0හ රජු පරදවා මුළු ලක්දිව ම සිය අණසකට ගෙන “වේලාපුර” අගනුවර කොට රාජ්‍ය විචාළේය. වේලාපුර නගරය කළු ගඟේ මෝයෙහි පිහිටියකි.පසුව මෙම වේලාපුර කළුතර නම් විය.

විජය මෙ රට පැමිණීමට පෙර උතුරු ඉන්දියාවේ රජ කළ “දශරත” රජුගේ වැඩිමහළු පුතණුවෝ ද මෙ රට රාජ්‍ය විචාළ අතර “රාවන” රජුගේ පියා වූ “පුලස්ති” රජු ද පොළොන්නරුව අග නගරය කොටගෙන මෙ රට රජ කම් කළ බව පැවසිය යුතුවේ. එමෙන් ම  ඔහුගේ පුත්තු වන “මාල්‍යව”,”සුමාලින්”, “මාලින්” යන අය ද පොළොන්නරුව ම අග නගරය කොටගෙන මෙ රට රජ කම් කර තිබේ.අනතුරුව රජ වූ රාවනගේ අග නගරය නැගෙනහිර වෙරළේ පිහිටි රාවන කෝට්ටේ විය.යහන්ගල ප්‍රදේශයේදී මිය ගිය රාවන රජුගෙන් පසු “කැළණිය” අග නගරය කොට ගෙන “විභීෂණ” මෙ රට පාලන කටයුතු මෙහෙය විය. විභීෂණගෙන් පසු “කුලගොත් මහාරාජා” නම් රජකු මෙ රට පාලන කටයුතු හොබවා ඇත්තේ කුරුණෑගල අග නගරය බවට පත්කර ගනිමිනි.අනතුරුව මෙ රට රාජ ධූරය සඳහා “චූලෝදර”, “මහෝදර”, “මණිඅක්ඛිත”  වැනි නාග ගෝත්‍රිකයන් ද පත්ව තිබේ.

මේ කරුණු අනුව විජය රජුගෙන් එහා යුගයක සිට පැවත එන රාජාවලියක් තිබුණු බව සිතිය හැකිවේ.

රාවන, විභීෂණ, කුඹුකන්, ඉන්ද්‍රජිත්, පණිත, නහුත,ස0කිත වැනි රජවරු විසින් කරන ලද ඇතැම් සෙල් ලිපි මේ වන විට සොයා ගෙන ඇති බැවින් මේ කරුණු තව දුරටත් සනාත කළ හැකිව තිබේ.

 

මූලාශ්‍ර:-

 1.කරල්ලියද්ද.ඇස්.බී.”පුරාණ ල0කාවේ රාජධානි”, ල0කාදීප ‘තක්සලාව’අතිරේකය, 2010.01.31.

 2.සේසත ප්‍රකාශක,”හෙළගොස”,කොළඹ,2007.

Permalink ප්‍රතිචාර 22

මෙහෙණියක සේ…….

2010 මැයි 9 at 12:46 පස්වරු (කැඩපත් පවුර)


අනියත මනු ලොව

දෝතින් ගෙන

මිරිඟුව වෙත දිව ගිය

මුවැත්තියයි මා එදවස

දැහැන් ගත සිත පාමුල

දිලෙන පහන් වැට සේ

සැලේ ඔබෙ රුව

මගේ නෙත අභිමුව

පුරන්නට පෙම් පාරමී දම්

කමටහන් වූ නුඹ ම එ දවස

කමටහන් විය මෙදින

පුරන්නට පාරමී දම්

සසර කතරින් එතෙර වන්නට

Permalink ප්‍රතිචාර 12