සුදු සේල( තුන් වන කොටස )

2010 ජූනි 10 at 1:01 පස්වරු (වර්ගීකරණය නොකළ)


ගුරු පාර කෙළවරේ උසට වැඩුණු සියඹලා ගස් හෙවනේ ඉදි වූ කුඩා කඩ කෑල්ලෙ පිළ මත වූ බංකුවට බර දී වාඩි ගෙන උන් උදවිය රන්මලීගේ පැමිණීම බලාපොරොත්තුව සිටි බැව් ආප්ප වට්ටිය සැනින් හිස් වූයෙන් රන්මලීට ද වැටහිණි.

“ළමයෝ කඩයප්පන් ගේන කොට පාන්දරම ඇරන් එනව නම් තමා හොඳ.”

“අපි මේ කෑමක් බීමක් නැතුවයි බලාන උන්නෙ.”

“අනේ මාමෙ අද නං ටිකක් සුනංගු උනා තමා.” යි කියමින් රන්මලී සුනංගුවට කමා වෙනු යි කියනා දෑස් පිළ මත වාඩි වූවන් වෙත පෑවාය.

“මේ…….ං ඊයෙ කඩයප්පං වල සල්ලි, නැන්දට කියහං තව චුට්ටක් වැඩියෙන් පිටි වක්කරන්න කියල.”

කඩේ මාමාගෙන් ලද සොච්චම් මුදල ද අත්ලේ ගුලි කොට ගනිමින් රන්මලී තඹ පැහැ ගැහුණු ගුරු පාරට බැස සැහැල්ලු සිතින් නිවස වෙත පා තබන්නට වූවාය. රෑ ජාමේ වැටුණු හීන් පින්නෙන් නව පණක් ලබා තිබූ ගහ කොළ කෙමෙන් මෝදු වන අව් රශ්මිය නිසාවෙන් මලානික බවක් පෙන්වන්නට විය. හමා ගිය වියලි සුළගේ අධාරයෙන් ඒ මේ අත විසිර යාමේ වරම් ලද තඹ පැහැ ගත් දූවිලි රන්මලීගේ දාහය නැගි වත ද සිඹිමින් උදාමයට පත් වෙද්දී තද හිස රුදාවකින් පෙළුණු රන්මලී නිවසට ගොඩව තෙල් අහුරක් ගෙන හිස් මුදුනේ අතුල්ලන්නට වූවාය.

“ඈ කෙල්ලෙ අදත් ඔය හිසේ ඇම්මද.? දැන් දෙතුන් දොහක ඉඳන් මං බලාන හිටියෙ ,මයෙ හිතේ ඉරුවාරදේ වෙන්ටෑ.”

“හ්ම්………හවස් ජාමෙ වෙද මාමලෑ දිහා යන්ටයි මං හිතුවෙ.”

“ඕකට ඇති බෙහෙතක් නෑ,ඉර බහින එක තමා ඉතිං බේත.”

“දවල් බතට මොනව හරි කොළ මාළුවක් හදා ගනිං කෙල්ලෙ, මාත් හේන දිහාට ගොහිං එන්ට.”

වැට කඩුල්ල මෑත් කොට ගුරු පාරට බට නැන්දා ඈත නොපෙනී යන තුරුම දිරා ගිය කඩුල්ලට මෑතින් හිද බලාන උන් රන්මලී අනතුරුව හීන් වැල්ලෙන් යුතු ගෙමිදුලේ තම නග්න පා ඔබමින් විත් වරිච්චියෙන් ඔප මට්ටම් වූ සිය ගෙපැළේ පිළ මත ඉඳ ඈත වෙල් එළිය පිස හමා එන සිහිල් සුළගේ ආශ්වාදය විඳිද්දී ඇගේ දෙනෙත් සිය හිසට උඩින් පියාඹා ගිය ගේ කුරුළු ජෝඩුවගේ ප්‍රේමාලිංගනය දෙසට යොමු  වූවාය. කිරිල්ළියක සේ තමා ද සිය පෙම්වතා සමගින් පෙමින් වෙළුන එ දවස රන්මලී සිහි කළාය. ගේ කිරිල්ළී සිය සහෘදයාගේ කණට කොඳුරා යමක් පවසා ලජ්ජාශීලී ගතියක් පෑවා වැනිය. කිරිල්ළගේ වදන් කණ වැකුණු හේ උද්දාමයට පත්ව බඳ පුම්බා තටු ගසන්නට විය.ගෙතුළට වැදී ලියමනට අකුරු ගොනු කළ ඇයට ගේ කුරුල්ලා උද්දාමයට පත්ව බඳ පුම්බා තටු සැලූ අයුරු සිහිපත් විය.සිත පුරා නැගි සුන්දර සිතුවිලි එකිනෙක තෙරපෙද්දී ලියා අහවර කළ ලියුම් කඩදහිය පරෙස්සමට පසෙකින් අරන් තැබූ ඈ නැන්දා දවල් බතට ගෙදර එන්නට කලියෙන් කෙහෙල් මුව බැදුමකුත් කිරි අල මාළුවකුත් පිළියෙල කර වැව දිහාට යන්නට සූදානම් වූවාය. සිරිදාස අයියා මගහැරුනොත් යැයි සිතූ ඈ ගමනට සුනංගු වූවාය.

ගෙමිදුලට බට රන්මලී වත්ත පුරා වැටී තිබුණු කොලපු, ඉපල් ආදිය ගොනුකොට දර මඩුවේ පසෙකින් දමද්දී වැට කඩුල්ල පැන ආ සිරිදාස රන්මලීලෑ ගෙපිළට බර වූවේය.

“සිරිදාස අයිය වේලපහින්ම.”

“ආ…….. ඔව් නගා මං මේ හේනෙ දිහාවෙ ඉදං ගෙදර යමිං ගමන, ආයෙ වංගියක් තකහනියෙ එන්ට ඕනැන්නෙ නෑ නෙව, නගා ලියමන ලීවයි.”

“ඔව් අයිය මම ලියමන නං ලීව ඉන්ට මං ගෙනත් දෙන්ට, සිරිදාස අයියට පිං අත් වෙනව මේ කරන උදව් වලට.” යි කියමින් රන්මලී සිරිදාස අත ලියමන තැබීය.

“මේක ඒ හැටි කාරියක්යෑ නගා.”

“අයියට කහට ටිකක් වක්කරන්නෙයි”

“සුනංගුවෙලා බෑ නගා මං ගොහිං එන්නං.”

සිරිදාසගේ පිටව යාමත් සමගම රන්මලී වැව දිහාට වැටුණු ගුරු පාර දිගේ හෙමි හෙමින් ඇදෙන්නට වූවාය. ඈතින් පෙනෙන කොළ පැහැයෙන් දිලෙන ගොයම් ගස් ද  රන්මලීගේ ලතාවට මෙන් මද සුළඟේ පහසින් නැළැවෙන්නට වුව ද මේ කිසිවක හෝඩුවාවක් නොදත් රන්මලී වෙල් යාය පසු කොට විත් වැව් ඉස්මත්තේ වූ ගස් හෙවනක වාඩිවී සිය අතීතය ආවර්ජනය කරන්නට වූවාය.

වැවට ආ හැම මොහොතකම රන්මලීගේ තනි නොතනියට එදවස නම් ජයසිරි පැමිණියේය. වෑ ඉස්මත්තෙන් එපිට බැද්දේ රන්මලී හා පෙමින් වෙළුන ජයසිරි………….

ජබුක්….. ජබුක්……

වැව් දියට ඇදුනු කබරයෙකුගේ හඬින් රන්මලීගේ සිතුවිලි විසිර යන්නට විය. ගස් සෙවනෙන් මෑත් වූ රන්මලී ද වැව් දිය හා එක්ව වැව් දියේ පහස ලබමින් ඒ මේ අත දියබුං ගසන්නට වූවාය. වැව් දිය මත පාව යන මල් පියල්ලක් මෙන් රන්මලී ද වැව් දිය තුළ පීනා යන්නට වූයේ තම ලියමන දුටු විගස ජයසිරි තමා බලන්නට ඒ යැයි සිත පුරා නැගි සිතුවිල්ලෙනි.

තම දැවැන්ත අඬු පහුර විදහාගෙන ගොදුරු සොයමින් උන් විසල් මකුළුවකු ගොදුරු නැති සොවින් අඬු පහුර හකුළුවාගන අන් තැනකට යන්නා සේ දිවා කල අහස් තලය පුරා විහිදවාලූ චණ්ඩ කිරණ හකුළුවා ගනිමින් හිරු සැඟවී යන්නට වෑයම් කරන මොහොතේ රන්මලී ද වැව් දිය මතින් විත් තම නිවහන කරා ඇදෙන්නට වූවාය.

 මතු සම්බන්ධයි……

Advertisements

Permalink ප්‍රතිචාර 17