සුදු සේල ( හත් වැනි කොටස )

2010 ජූලි 20 at 4:56 පෙරවරු (වර්ගීකරණය නොකළ)


“රන්මලී ආ…………ං අර ළමය ඇවිදින්.” යි නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලී ගෙමිදුල දෙස බලා ජයසිරි වෙත මද සිනාවක් පා ගෙතුළට වැදුනාය.

සිදු වූයේ කුමක්දැයි සිදු වන්නට යන්නේ කුමක්දැයි නොදත් රන්මලී මුළුතැන්ගෙට වැදී ලිප දල්වා කේතලය ලිප මත තබත් ම නැන්දා පැමින එතෙක් අදුරේ තිබුන මුළුතැන්ගෙට ආලෝකය වැටෙන සේ දොර පියස්ස මෑත් කළාය. නැන්දාගේ මුහුණ බලා වදනක් හෝ දොඩන්නට ලජ්ජා වූ රන්මලී ලිප අද්දරට ම වි දැල්වෙන ගිනි සිළු දිහා බලා ගත්වනම සිටියාය.

“ජයසිරිට ඉල්ලමෙන් වාසිය කියන්නෙ…….., ලබන සුමානෙ දිහාට උඹව කැන්දන් යන්නත් හිතාන ඉන්නව කීවේ.”

දැඩි හිරු රැසින් කේඩෑරි වී ගිය ගස් වල තැනින් තැන මලානිකව පිපී වැනෙන මල් මත හීන් පොද වැසි වැටෙන බිනර මහේ උදාවට ඇත්තේ තව සතියක කාලයක් බැව් මෙනෙහි කළ රන්මලී මෙතෙක් ලිප මත දැවුණු ගින්දරෙන් පැසී නටන වතුර කේතලය බිමට බා ගිනි දැල් නිවා දමා කහට කෝප්පයක් වත් කොට නැන්දා අත ජයසිරි වෙත යැවුවාය. පෑල දොරින් මිදුලට බට රන්මලී කපා හෙළු පොල් ගසක කඳ මත වාඩි වී පැහැදිලි නිල් අහස් තලය දෙස බලා සිනාසෙන්නට වූවාය.

“ලබන සුමානෙ දිහාට උඹව කැන්දන් යන්නත් හිතාන ඉන්නව.” යි නැන්දා කී වදන් රන්මලීගේ දෙසවන පුරා රැව් පිළිරැව් දෙන්නට විය. ගෙතුළ මගුල පිළිබඳ කාරණා කතිකාවකි, ගෙන් පිටත අලංකෘත මංගල පෝරු මස්තකයේ ජයසිරි හා අතිනත ගත් රන්මලී සිහින ලොවක තනිව හිඳින්නී. පෙර දිනෙක හවස් ජාමේ ගෙමිදුල හරහා හඬ තැලූ දෙමලිච්චන්ගේ කරච්චලය මෙදින රන්මලීට නැවුම් සංගීත රාවයක්ම විය. වැහි පොද වැටී ගස් වැල් මල් දලු දා මුළු පරිසරයම අලංකෘතවන්නේ සිය මගුල උත්සවශ්‍රීයෙන් සමරන්නට මෙනැයි මෙනෙහි කරමින් රන්මලී තවමත් උන්තැනමය.

ජයසිරි පැමින ගොස් දෙපැයක් ගත වන්නට ඇත. මුළුතැන් ගේ දිහාවෙන් රාත්‍රී බත වෙනුවෙන් ලක ලැහැස්තිවෙන වළං පිඟන් ගැටෙන හඬ විනා වෙනත් කිසිදු හඬක් පිට නොවීය. නැන්දා සමගින් පෙර මෙන් දොඩමළු නොවූ රන්මලී ඉදුණු බත් මුට්ටිය පසෙකින් තබා ලිප මත වූ කරවල හොද්ද නටන තෙක් හැදි ගෑවාය.

එදින රාත්‍රී නිදි පැදුරේදී ද සිය මගුල දිනය ගැන සිත වෙහෙසමින් උන් රන්මලී දෙනෙත් වෙත නිදි දෙව් දුව පැමිණියේ ද නැත.

ජයසිරි ගම ඇවිදින් ගිය පසු රන්මලී පින්නෙන් දොවා ගත් මලක් මෙන් ප්‍රාණවත් වූවාය. සිය යෙහෙලියන් සමගින් පෙරදා මෙන් ගම් මැද්දේ ඇවිද යන්නටත් වැව් තාවුල්ලේ හිද කවි සී පද කියන්නටත් ආසා කළ ඈ වරෙක යෙහෙලියන්ගෙ කවට කතා බසින් උරණ වන්නටත් තවත් වරෙක ලජ්ජාවෙන් මිරිකී සිනාසෙන්නටත් වූවාය. වස්සානය එළබෙත් ම ගම් මැද්දේ ලතා මඩුළු සිය අතු පතර මලින් කොළින් සරසා හිනැහෙන්නාක් මෙන් රන්මලී ද වඩ වඩාත් හිනැහෙන්නට වූවාය. වැහි පොද එකින් දෙකින් ඇරඹි පොද වැස්ස මහා වැහි බිදු බවට පත්ව එක සීරුවට අහස් කුස සිට පොළෝ තලය  දෙදුරුම් කවමින් කඩා වැටෙන්නට විය. පොද වැස්සට දළු දමා මෝදු වෙමින් තිබූ මල් කැකුළු බොරළු කැට තරම් මහත් වූ වැහි බිදු හමුවේ පරාජිතව නටුවෙන් ගිලිහී පොළෝ තලය සිප ගනිමින් මඩ වතුරේ ගසා ගෙන යන්නට විය. තෙදිනක් පුරා වට මහා වරුසාව දෙස රන්මලී බලා උන්නා පමනි. අඩු වෙමින් වැඩි වෙමින් නොනවත්වා කඩා හැලෙන වැසි දියට රන්මලීගේ සිතිවිලි ද සේදී යන්නා සේය. මගුල් දින අදින්නට සිතා උන් සුදු මල් සහිත සාරිය හා හා පුරා කියා අදින මුල්ම දිනයේ වැසි දිය වැටී කිළුටු වනවාට  අකමැතිවූ රන්මලීගේ සිත නොසන්සුන් වූවාය. ජයසිරිගෙන් ලද ප්‍රතම ත්‍යාගය මෙතෙක් දවස් රක්ශා කළෙ එයින් ම සැරසී ඔහු අත ගැන්මටයි. අනෝරා වැසි වැටී සිය සුමුදු සාරිය  කිළුටු වේ යැයි සිතා රන්මලී ලතැවෙද්දී නැන්දා ඇතුළු ඇගේ හිතවතුන් හෙට දින  උදාවන සුබ කටයුත්තට කඩිමුඩියේ සූදානම් වූවෝය.

“රන්මලී දැන් ඇති නොවැ ඔය කල්පනාව……, ගිහිං අර කේතලේ ලිපේ තිබ්බනං”

‘කට්ටියම තේ බීල ඉන්නෙ නැන්දෙ.” යි කියමින් මාලතී කාමරය තුළට පැමිනියාය.

“හෙට අදින ඇදුම් සේරම හරි නේද අක්ක.”

“සාරිය නම් හරි නගා, ඒකට දාන්න මුතු පටක් තෝරල දෙන්නකො,

“ම්………සාරියත් බලන්ට ගන්නකො.”

මේ……ං නගා සාරිය , මේ පෙට්ටියේ ඇති මුතු පට දෙකක් ඔයා හොද එකක් තෝර දෙන්නකො.”

මතු සම්බන්ධයි………..

 

Permalink ප්‍රතිචාර 11

සුදු සේල (සය වන කොටස )

2010 ජූලි 11 at 10:27 පෙරවරු (වර්ගීකරණය නොකළ)


“රන්මලී අක්කේ” යි උස් හඬින් පවසමින් ම මාලතී රන්මලීලෑ වැට කොඩොල්ල ළඟ නතර වූවාය.

කමින් උන් බත් පත ද රැගෙන ගෙමිදුලට බට නැන්දා

“මොකෑ මාලතියෙ කෑ මොර දෙන්නෙ.” යි පවසත් ම රන්මලීගේ සිත තුළ මෙතෙක් පැවැති තාන්තුවා ගතිය පහව යන්නට විය.

“කෝ නැන්දෙ රන්මලී අක්ක.”

නැන්දා පිළිතුරු දීමට පෙර ගෙමිදුලට පිවිසි රන්මලී මාලතීට කතා කරන්ට වූවාය.

“මාලතී නගා නාන්ට නෙවද යන්නෙ, ඇවිත් ටිකක් ඉඳගන්ටකො, මාත් එනව නාන්ට යන්ට.” යි පවසා ගෙතුළට වැදුනු රන්මලී පනිට්ටුවට රෙදි ඔබමින් ම “නැන්දෙ මමත් යනව වැව දිහාට.” යි පවසමින් ම මාලතීට එකතු වූවාය.

“හැන්දෑ වෙන්ට කලියෙන් නාගෙන වරෙල්ල.”

තාම ඉර මුදුන් වුණා විතරයි නෙව, හැන්දෑ වෙනකං මොනව කරන්ටද නැන්දෙ.” යි මාලතී පිළිතුරු දෙන්ට වූවාය.

වැට කඩොල්ලෙන් පැන ගුරු පාරට බැස මද දුරක් ගෑටූ පසු මාලතී දෙසට හැරුණු රන්මලී ” ඈ නගා සිරිදාස අයිය තාම ආවෙ නැද්ද.”?

“මොකෑ අක්ක ඔය හැටි හදිස්සිය,? මද්දු අයිය කොහොමත් එන්නෙ හැන්දෑ වෙලා නෙව.”

“නෑ නගා මං සිරිදාස අයිය අතේ ජයසිරිට ලියමනක් ඇරිය.”

ආ…………. ඒක තමයි මේ හොරේ, හැන්දෑ වෙද්දි මද්දු අයිය එයි. නාල අහවර වෙලා අපේ දිහා යංකො.”

“මට හරි බයයි නගා, සුමාන තුනකින් විතර ජයසිරිගෙන් කිසිම පයිංඩයක් නෑ.”

“ඉන්තේරුවෙන්ම මද්දු අයිය අද විස්තරයක් දැන ගෙන එයි අක්ක බය ගන්ට කාරි නෑ.”

“හෙනක් බතක් කරගන ගම ඉන්ට කියල මං කී වංගියක් නං කිව්වයි, පතල් හාරන්ටම තමා හිත තිබ්බෙ.”

“අනේ අක්ක හූල්ලන්නෙ නැතුව එන්ටකො, සුනංගු උනොත් නැන්දගෙනුත් බැනුම් අහගන්ටයි වෙන්නෙ.”

“ජයසිරි මේ කරන වැඩ හින්ද නැන්දලගෙ හිතේ තියෙන අමනාපෙ තවත් වැඩි වෙනව නගා, එයැයි ඒකත් ටිකක් හිතන්න එපාය.” යි කියමින් රන්මලී අත රැදි පනිට්ටුව පසෙකින් තබත් ම මෙතෙක් වේලා හැලහොල්මනක් නොමැතිව එකම රටාවකට රැළි නැගි වැව් දියට බාදා පමුණුවමින් මාලතී දියට බැස ඒ මේ අත පීනන්ට වූවාය. වැව් ඉවුරේ විසල් ගස් හෙවනක පහස ලබමින් උන් රන්මලී දිය රළ හා එක්ව කෝල වන නෙළුම් මල් දෙස නෙත් යොමා සිටියාය.

“ඔය හැම කාරණේකටම උත්තර අද හැන්දෑ වෙනකොට ලැබෙයිනෙ.” යි කියමින් මාලතී දියෙන් ගොඩට විත් රන්මලීගේ අතින් ඇදගෙන ම යළි දියට බසින්නට වූවාය.

“දෙන්න එකතු උණු තැන කුටු කුටුව මිස වෙන වැඩක් නම් නෑ නෙව.” යි කියමින් ම නැන්දා ද වැව් දියට බසින්ට වූවාය. නැන්දාගේ වදන් කණ වැකුණු රන්මලීත් මාලතීත් උන් හිටි තැනින් ඉවත්ව ඒ මේ අත පීනා යන්ට වූවෝය.

දැඩි හිරු රැස් කිරණින් නික්මුණු තාපයෙන් රත් වූ වතුර හැළියක දිය මෙන් උණුසුම් වූ වැව් දියෙන් ගිනි ගෙන දැවෙන රන්මලීගේ සිතත් ගතත් නිවා ගත නොහැකි වූ රන්මලී කයටත් වැඩි සිතුවිලි බරින් මිරිකී ගොඩ අතට පීනා යන්ට වූවාය. තෙත බරිවී ඇඟට ම ඇලී තිබූ දිය රෙද්ද නිසාවෙන් ඉස්මතු වී පෙනෙන සිය සිරුර දෙස මද වේලාවක් බලා සිටි රන්මලී දිගු සුසුමක් ඇද නැවත එය වා තලයට ම මුදා හැරියාය. තෙත රෙදි අහවර කරමින් සුදු පැහැ පසු බිමේ නිල් පැහැති කුඩා මල් වැටුණු චීත්ත ගවුම ඇඟ ලා ගත් ඈ නැන්දා සබන් ගා අපුල්ලා ගල් පොත්ත මත තබා තිබූ රෙදි දියේ ඔබා සබන් හැර පනිට්ටුව තුළට දමා වෑ කණ්ඩියට ගොඩ වෙත්ම මාලතී ද ඇයට එකතු වූවාය.

වැව් බැම්මේ ඈත කෙළවර දෙස නෙත් දල්වා මදක් බලා සිටි රන්මලී මාලතීගේ අත තදින් මිරිකා සුළඟේ පාව යන සුමුදු මල් පෙත්තක් විලසින් වැව් බැම්මේ ඈත කෙළවර දෙසට පාව යද්දී මාලතීගේ දෑස් ද එදෙසට යොමු වූවාය. ජයසිරිගේ නෙත් අභියස නතර වූ රන්මලී අසන්නට කියන්නට වූ දාහක් දේ වලින් කුමක් කෙසේ ඇසිය යුතුදැයි සිතා ගත නොහැකිව ලත වෙද්දී “අක්ක දැන් නැන්දත් දියෙන් ගොඩ එයි; හනික ගියොත් නේද හොඳ.” යි මාලතී පවසත් ම රන්මලී කිසිත් නොදොඩාම ජයසිරිගෙන් ඉවත ගියේ මාලතීගේ වදන් යදම් පටක් සේ සිය දෙපා ගැට ගසා ඇදගෙන යන්නාක් වූ සෙයිනි. මග තොට හමු වූ කිසිවෙකු ගැන වත් ඇසූ කිසිවක් පිළිබද වත් අනවබෝදයෙන් ම රන්මලී මාලතීගේ මෙහෙයැවීම මත සිය ගෙපැලේ පිල මත ඉද ගත්තාය. 

මතු සම්බන්ධයි…………

Permalink ප්‍රතිචාර 14

සුදු සේල (පස් වන කොටස )

2010 ජූලි 1 at 6:53 පෙරවරු (වර්ගීකරණය නොකළ)


ආප්ප වට්ටිය කඩේ මාමාගේ අතට දුන් රන්මලී නොඉවසිල්ලෙන් බලා සිටින්නට වූයේ කඩේ මාමා ආප්ප වට්ටිය තුළ වූ ආප්ප ගනින්නට වූයෙනි.

“ඉඳා………… කෙල්ල ඊයෙ කාසි.” කී සැනින් රන්මලී කාසි ටික ගෙන ආපසු හැරී ගුරු පාරට බැස්සේ කඩේ මාමාගේ කතාව අහවර වෙන්නටත් කලියෙනි.                           

කඩ පිලේ වූ කබල් පුටුව බර කරමින් කහට කෝප්පයක් තොල ගාමින් උන් සිමියොං අප්පු ද රන්මලී ඈත ගුරු පාරේ නොපෙනී යන තෙක් නෙත් දල්වා ගෙන සිටියේ කුමක් වූයේ දැයි වටහා ගත නොහැකිවූ හෙයිනි.

“ඈ…………. මුදලාලි රන්මලී කෙල්ල මොකෑ අර මුදලාලිගෙ කතාව අහවර වෙන්ටත් කලියෙන් දුවන්ට තියාගත්තෙ.”

“මං ඒකිට ඊයෙ පයිංඩයක් කිව්ව උන්නෙ නැන්දට කියන්නෙයි කියල, ඒක අහන්න හැදුව විතරයි ඒකි දුවන්ට තියාගත්ත නොවැ.”

“එකත් එකටම මුදලාලි ඒකිට පයිංඩේ කියන්ට අමතක වෙන්ටෑ”

“මාත් හිතුව බං සිමියොං,ඒත් බං ඕකට ඔය හැටි බයේ දුවන්ට ඕනයෑ, මං හිතන්නෙ ජයසිරිය ගම ඇවිදින් වෙන්ටෑ, ඌව මුලිච්චි වෙන්ට තමා කෙල්ල ඔය අස්ප වේගෙන් දිව්වෙ.”

“කව්දෑ………. මුදලාලි අස්ප වේගෙන් දිව්වෙ.” යි කියමින් ම එතනා කඩේට ගොඩ වූවාය.

“මෙන්න මෙහාට දියං ඔය හැලප ටික.” යි කියමින් මුදලාලි එතනා දෙස නොරුස්නා බැල්මක් හෙලීය.

හැලප තසිම මුදලාලි අතට දුන් එතනා සිය කුහුල මැඩගනු පිණිස සිමියොං දිහාවට හැරුණි.

“ඈ……….. සිමියොං කවුද බං අස්ප වේගෙන් දිව්වෙ.”

“අස්ප වේගෙන් දිව්වෙ බං අස්පයෙක් නෙව.”

ඒබරං මුදලාලිගේ කඩ පිල මත වූ කබල් පුටු තුන හතරත් මිදුලෙහි වූ බංකු කෑල්ලත් බර කරමින් රට තොට තොරතුරු විමසමින් කහට කෝප්පයක් බොන්නට ද අමතක නොකළ බාල මහළු සියල්ලෝම සිමියොං අප්පුගේ පිළිතුරින් උස් හඬින් සිනාසෙන්නට වූයෙන් ගමේ ම ඕපාදූප සොයමින් වල් පල් දොඩන්නට කෑදර වූ එතනාගේ කේන්තිය දෙගුණ තෙගුණ වූවාය.

වෙනදා මෙන් ගුරු පාර දිගටම ගමන් කිරීමට ඉඩ නොදුන් රන්මලීගේ දෙපා ගුණපාල මාමලෑ කුඹුර උඩින් වැටී ඇති නියර දිගේ පියවර මනින්නට වූවාය.

කුඩා අගල් වලින් වටවූ හතරැස් හැඩැති පාත්ති වටා සීරුවෙන් මාරු වීමට හැකි වන ලෙස ඉතිරි කරන ලද නියර වල් සහිත බිම් කඩවල් හැරුණු විට අනෙක් සෑම බිම් කඩකම වැටකොළු, පතෝල, කරවිල, වම්බටු ආදී එළවළු වගා කළ වැලි බිම් සහිත හේන් බිමට ගොඩවූ රන්මලී රතට රතේ ඉදී හිනැහෙන කරවිල ගෙඩියක් ද නටුවෙන් වෙන් කොටගෙනම හේන් බිම ඔබ්බෙහි වූ සිරිදාසලෑ ගෙදර අගුපිල දිහාට පා එසැවූවාය.

“හා…………නේ රන්මලී අක්කා.” යි තෙපලමින් මාලතී අගුවේ වූ කබල් හැළි වළං අඩුක්කු කොට තිබූ මැස්සෙං ලොකු හැළියක් අතට ගත්තාය.

“අක්ක අද පාන්දරම මද්දු අයිය හම්බු වෙන්ට නේද.”?

“මාලතී නගාට තියෙන ඉව.”

“අක්කගෙ මූණෙන් කියවෙනව ලෙඩේ මොකද්ද කියල.”

“මට ඇති ලෙඩක් නෑ නගා.”

“රන්මලී අක්කගෙ ලෙඩට වෙදකං කරන්ට මටවත් අපෙ අප්පච්චිටවත් බැරි වෙයි ඕං……….”

“සිරිදාස අයිය අද එනවැයි නගා.”

“අද හැන්දෑ වෙද්දි එයි මයෙ හිතේ.”

“එහෙනං මං ගිහින් එන්නං නගා.”

“කහට ටිකක්වත් නොබී.”

“කහට බොන්ට හැන්දෑවට එන්නං.” යි කියමින් රන්මලී නිවස කරා පිය මනින්නට වූවාය. සිරිදාස අයියාට ජයසිරි හම්බු වන්නට ඇත. ලියමන කියවා ජයසිරි සමගම ගම එන්ට යැයි පවසා ජයසිරි සිරිදාස අයියාව නතර කර ගන්නට ඇත. ජයසිරි සිරිදාස අයියා සමගින්ම ගම එන්ට පිටත් වන්නට ඇත සිතිවිලි අතරේ සිර වී ඉබාගාතේ දෙපා නගන රන්මලී සිය නිවස්න කරා පැමිණියේ තම සුපුරුදු ඉවෙන් මෙනි. ගෙමිදුලට පැමිණි රන්මලී වැට මායිම අද්දරට වන්නට තිබූ සේපාලිකා මල් ගහෙන් බිමට බට මල් අහුරක් දෝතට ගෙන එහි මිහිරියාව නැහැයට ළංකර  විඳ ගත්තාය. ගෙතුළට වැදුනු ඈ ගේ දොර අස් පස් කරන්නට වූයේ තාන්තුවාවෙනි. උදෑසන ඈ සිත උපන් උද්යෝගය කෙමෙන් පහව ගොසින් ඉස්මතුවූ උදාසීන ගතියකින් යුතුවම ඈ වැඩ පලෙහි නිමග්න වූවාය.

මතු සම්බන්ධයි…………

Permalink ප්‍රතිචාර 14