සුදු සේල (දෙවන කොටස )

2010 ජූනි 3 at 11:08 පෙරවරු (වර්ගීකරණය නොකළ)


පාන්දර යාමයේ මුළුතැන්ගෙයින් නැගුණු පිඟන් කෝප්ප හඬින් අවදි වුණු රන්මලී හනිකට නැගිට මුළුතැන්ගෙය බලා දිව ගියේ මෙලහකටත් නැන්දා ආප්ප පුළුස්සා අහවර වී ඇතැයි සිතමිනි.

“ආ……….. කෙල්ලෙ මූණ කට හෝදගන විජහට කඩමණ්ඩියට ගොහිං වරෙං, ගමේ ඈයො පාං බනිස් ගිලින්ට කලියෙං.”

නැන්දා දුන් ආප්ප වට්ටියද රැගෙන රන්මලී සීරුවට ගුරු පාරට බැස්සෙ වෙනදා නැති කාන්සියකිනි. ගුණපාල මමලෑ කුඹුර උඩින් වැටී ඇති නියර දිගේ හීනියට මතුව ආ මිනිස් රුව දුටු රන්මලීගේ දෑස් බබලන්නට විය.

“හා……..නේ සිරිදාස අයිය දැක්ක කල් මං මේ කීප දොහක ඉදන් බලාන හිටියෙ අයියවත් මුණගැහෙන්ට ඇත්තං කියල.”

“ඒ මොකෑ නගා.”

“අයිය ගම ඇවිත් කී දොහක් වෙනවයි.”

“දවස් දෙක තුනක් උනා මයෙ හිතේ, මොකෑ නගා කාරණේ කියල හිටිං.”

“අනේ සිරිදාස අයියෙ ජයසිරි දැන් සුමාන තුනකින් විතර ගම ආවෙ නැහැ නොවැ, මං මේ හිතේ ගින්දරිං තිස්සෙම.”

“බය වෙන්ට කාරි නෑ නගා ජයසිරිට හොඳ ඉල්ලමක් අහුවෙලා ඇති,නගා මට ලියුම් කඩදහියක් ලියල දෙන්ටකෝ, මම හෙට රත්නපුරේ යමිං ගමං ජයසිරිගෙ වාඩියටත් ගොඩවෙලාම යන්නං.”

“අනේ හොඳා හැන්දෑ වරුවෙ අයිය අපේ දිහා එන්ට මං ලියුම් කඩදහිය ලියා තියන්නං.”

“හොඳා හොඳා මං මේ හේන දිහාට යමිං ගමන, නගා කඩමණ්ඩියට යනව වෙන්ටැ.”

“ඔව් මේ කඩයප්පන් ටික දීල එන්ට කියල.” යි කියමින් රන්මලී කඩමණ්ඩිය දිහාට හැරෙත්ම ඈත අහස පුරා සැහැල්ලුවට පියා සලා ආ කුරුළු රෑනක් රන්මලීගේ හිසට උඩින් පියාසලා ඈ පසු කර යන්න ගියෝය.

මතු සම්බන්ධයි….

Permalink ප්‍රතිචාර 12

සුදු සේල (පළවන කොටස)

2010 මැයි 27 at 4:58 පෙරවරු (වර්ගීකරණය නොකළ)


රන් වන් කිරණ විදහා උජාරුවට පායා තිබූ හිරු හදිසියේම කොහේ හෝ සැඟව පරිසරය පුරාම අදුරු වළාවන්ගේ කලු සෙවනැලි පතිත වෙද්දී වැව් බැම්ම මත රෙදි ගොන්නත් ඔලගුවේ ඔබා ගෙන ඈත අහස දිහා බලාන හිටිය රන්මලීගේ සුසුම් සමගින් අදුර ඈ වටා එහා මෙහා සක්මන් කරන්නට විය.

“ඈ ළමයෝ මම මේ කීයෙ ඉදන් බලාන ඉන්නවයි, මොකද හැබෑටම වෙලා තියෙන්නෙ”

“නෑ මං මේ කල්පනා කළේ මේ වැව නැතිවුණ දාක අපට මොකද වෙන්නෙ කියල.”

“වෙන  මොනව වෙන්නෙයි,වැවේ වතුර ටික හිදුනු දාක හව්හරණක් නැතුව මේ අව් කූටකේටම අපිවත් අළු වෙලා යාවි.”

ඈ නැන්දෙ වැව නැතිවුණ දාක අපිත් නැති වෙනව කියල හිතන්න නරකයි, හිතේ හයියෙන් පණ කෙන්ද රැක ගන්ටයි බලන්ට ඕනෑ,ආයෙත් දොහක වැවේ වතුර වාං දමන දවසක් එන්නෙ නැතෑ.”

“ඕ…..ං ඔය කයි කතන්දර නතර කොරල පය ඉක්මන් කොරහං,අර මනුස්සයගෙ කෑම ටික ගෙනියන්නත් තියෙනව.”

“මං මේ රෙදිටික හෝදාන එන්නං නැන්ද යන්ට.”

“මොන රෙදි හේදිල්ලක්ද දැන් යමං යමං.”

අවසන නැන්දාගේ බහට අවනත වූ රන්මලී සුනංගු වීමේ වරදට නැන්දාගේ මුවින් ගිලිහුණු නොහොඳ නෝක්කඩු වලින්  දෙසවන්ද පුරවා ගනිමින් නිවස්න දෙසට පා නැගුවාය.

මුළුතැන් ගෙට වැදුනු රන්මලී රාත්‍රී අහර සඳහා සූදානම් කර තිබූ බත් මාළු පිනි ආදිය එක් කොට මඩක්කුව පුරවා, ලබු කැටේට වතුරද පුරවා පිළ මත තැබුවාය.නැන්දාගේ බත් පතද වෙන් කොට කා බී අහවර වී මුළුතැන් ගේ අතු පතු ගා දැමූ ඈ පැදුරු කඩමාල්ලක් එළා එහි දිගා වූවාය. නිදි පැදුරේ දී රන්මලී ගේ හිත ඇතුලේ නොයෙක් සිතුවිළි පහල වන්නට විය. නැන්දා ගේ නොහොද නෝක්කඩු හමුවේ ඈ ගම් මැද්දේ ජයසිරි සමගින් පෙම් බස් දෙඩූ හැටි………….., වෑ කන්දේ දෙ අත් පටලා ගෙන පෙම් ගී ගැයූ හැටි……….., එ දවස් මොනතරම් මිහිරි වුවද ඒ මිහිර විදගන්නට නොහැකිව ඈ දැන් නිදි පැදුරේ ලත වෙන්නී.

මතු සම්බන්ධයි…

Permalink ප්‍රතිචාර 14

බුදු පියාණනේ……..

2010 මැයි 23 at 3:53 පස්වරු (කැඩපත් පවුර)


අදැහැමි සිතිවිල්ලෙන්

දැවෙන තැවෙන

මනුසත් සිතිවිලි

මෙත් සිසිලෙන් තෙමා

නිවා සනහා,

අමා දම් රස

මනුසත් සිත් තුළ

වඩා හිඳුවා,

කරුණා රසයෙන්

ලොව නහවා ලන්නට

මුදු බුදු බණ පදයක්

දෙසා වදාළන්නට

වඩිනු මැන බුදු පියාණනේ…………….

Permalink ප්‍රතිචාර 9

විජයට පෙර අපේ රජවරු

2010 මැයි 17 at 10:12 පෙරවරු (ශාස්ත්‍රීය)


ලක් දිව පළමු රජු විජය ලෙස මහාව0සයේ සදහන් වුව ද විජයගේ පැමිණීමට පෙර අවුරුදු දස දහස් ගණනක් ඈතට දිව ගිය අපේ ඉතිහාසයේ එන රජවරු කවුරුන්දැයි විමසා බැලීම වටී.

විජයගේ පැමිණීමට බොහෝ කාලයකට පෙර “ල0කාදීප”, “හෙළ දිව” ආදී වශයෙන් ප්‍රචලිතව පැවති මෙරට “ලග්ගල” සිය අගනුවර කොට ගනිමින් රාජ්‍ය විචාළ “සි0හ” නම් රජෙකු විය. මෙම පෙදෙස වත්මනේ මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කයන්ට අයත් පෙදෙසකි. එකල ප්‍රධාන ජනාවාසය ලෙස “මීමුරේ” ගම පවතින්නට ඇති බව පහත ගැමි කවියෙන් ප්‍රත්‍යක්ෂ වේ.

       “එපිට කන්ද කළු පහනේ      කැළේයා

       මෙපිට කන්ද ලග්ගල           මීමුරේයා

       දෙඩිය දෙකක් උස ඇති        ගෝමරේයා

       හොඳයි පරකාස ලක            මීමුරේයා”

සි0හ රජු රජ කරන සමයේ “වේලායුධ” නම් කුමාරයෙක් දකුණු දඹදිව සිට මෙරට පැමිණ සි0හ රජු පරදවා මුළු ලක්දිව ම සිය අණසකට ගෙන “වේලාපුර” අගනුවර කොට රාජ්‍ය විචාළේය. වේලාපුර නගරය කළු ගඟේ මෝයෙහි පිහිටියකි.පසුව මෙම වේලාපුර කළුතර නම් විය.

විජය මෙ රට පැමිණීමට පෙර උතුරු ඉන්දියාවේ රජ කළ “දශරත” රජුගේ වැඩිමහළු පුතණුවෝ ද මෙ රට රාජ්‍ය විචාළ අතර “රාවන” රජුගේ පියා වූ “පුලස්ති” රජු ද පොළොන්නරුව අග නගරය කොටගෙන මෙ රට රජ කම් කළ බව පැවසිය යුතුවේ. එමෙන් ම  ඔහුගේ පුත්තු වන “මාල්‍යව”,”සුමාලින්”, “මාලින්” යන අය ද පොළොන්නරුව ම අග නගරය කොටගෙන මෙ රට රජ කම් කර තිබේ.අනතුරුව රජ වූ රාවනගේ අග නගරය නැගෙනහිර වෙරළේ පිහිටි රාවන කෝට්ටේ විය.යහන්ගල ප්‍රදේශයේදී මිය ගිය රාවන රජුගෙන් පසු “කැළණිය” අග නගරය කොට ගෙන “විභීෂණ” මෙ රට පාලන කටයුතු මෙහෙය විය. විභීෂණගෙන් පසු “කුලගොත් මහාරාජා” නම් රජකු මෙ රට පාලන කටයුතු හොබවා ඇත්තේ කුරුණෑගල අග නගරය බවට පත්කර ගනිමිනි.අනතුරුව මෙ රට රාජ ධූරය සඳහා “චූලෝදර”, “මහෝදර”, “මණිඅක්ඛිත”  වැනි නාග ගෝත්‍රිකයන් ද පත්ව තිබේ.

මේ කරුණු අනුව විජය රජුගෙන් එහා යුගයක සිට පැවත එන රාජාවලියක් තිබුණු බව සිතිය හැකිවේ.

රාවන, විභීෂණ, කුඹුකන්, ඉන්ද්‍රජිත්, පණිත, නහුත,ස0කිත වැනි රජවරු විසින් කරන ලද ඇතැම් සෙල් ලිපි මේ වන විට සොයා ගෙන ඇති බැවින් මේ කරුණු තව දුරටත් සනාත කළ හැකිව තිබේ.

 

මූලාශ්‍ර:-

 1.කරල්ලියද්ද.ඇස්.බී.”පුරාණ ල0කාවේ රාජධානි”, ල0කාදීප ‘තක්සලාව’අතිරේකය, 2010.01.31.

 2.සේසත ප්‍රකාශක,”හෙළගොස”,කොළඹ,2007.

Permalink ප්‍රතිචාර 22

මෙහෙණියක සේ…….

2010 මැයි 9 at 12:46 පස්වරු (කැඩපත් පවුර)


අනියත මනු ලොව

දෝතින් ගෙන

මිරිඟුව වෙත දිව ගිය

මුවැත්තියයි මා එදවස

දැහැන් ගත සිත පාමුල

දිලෙන පහන් වැට සේ

සැලේ ඔබෙ රුව

මගේ නෙත අභිමුව

පුරන්නට පෙම් පාරමී දම්

කමටහන් වූ නුඹ ම එ දවස

කමටහන් විය මෙදින

පුරන්නට පාරමී දම්

සසර කතරින් එතෙර වන්නට

Permalink ප්‍රතිචාර 12

කෝණ මοගල්ලේ

2010 අප්‍රේල් 13 at 5:22 පස්වරු (ශාස්ත්‍රීය)


 

මොකද්ද මේ ‘කෝණ මοගල්ලෙ’ කියන්නෙ. කෝණ මοගල්ලෙ කියන්නෙත් අපි කවුරුත් දන්න සිοහල හින්දු අලුත් අවුරුද්දට ම තමයි.

සිοහල හින්දු අලුත් අවුරුද්ද කෝණ මοගල්ලෙ ලෙසින් හදුන්වන්නෙ හේතුවක් ඇතුවයි. ශ්‍රී සුමοගල ශබ්ද කෝෂයේ 306 වැනි පිටුවෙ සඳහන් පරිදි අපේ ගම් දොරේ ඇත්තො සිοහල හින්දු අලුත් අවුරුද්ද කෝණ මοගල්ලෙ නමින් හැදින්වුවේ සිοහල මාස් පිළිවෙළ අනුව එහි ආරම්භ මාසය වන බක් මාසය මුල් ම කොණේ පිහිටි මාසය නිසා. එහෙමත් නැත්නම් සිοහල මාස දොළහෙන් මුල් මාසය හා අග මාසය සූර්ය ස්පර්ශයට බඳුන්වන දෙකොණ නිසා විය හැකිය.

කෝණ මοගල්ලෙ අපි කවුරුත් දන්නෙ ‘අවුරුද්ද’ ලෙසටයි. සූර්ය මοගල්ය සඟරාවෙ 28 වැනි පිටුවෙ සඳහන් පරිදි බැබිලෝනියන්වරු ‘අවුර්’ ලෙස ‘සූර්යා’ හැදින්වූ නිසාත් සූර්ය තාපය සෘජුවම පොළොවට වැටෙන දිනය යන අරුත ඇතිව

                                 ‘අවුර්’+’ඉද්ද’-අවුරුද්ද වූ බව කියවේ.

රෞද්‍ර අව්වක් පතිත වන බව පිළිගත් බැවින් අවු+රෞද්‍ර- අවුරුද්ද වූ බවට ද මතයකි.

        ‘  කලු කපුටා සුදු වන තුරු

          කෙල මෝලෙන් දළු එන තුරු

          හුණුසල් ඇස පැල වෙන තුරු

          එකසිය විස්සට දෙසිය විස්සක්

          ආවඩායිබෝ වේවා……….’

 

ලැබුවා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන ශ්‍රී සුබ නව වසරක් වේවා………!

 

මූලාශ්‍ර:-

1. මානෑව කේ.බී. , ‘කෝණේ කමුද හේනේ පිළ පිට නෑනේ’, සිළුමිණ ‘පුන්කළස’ අතිරේකය, 2009.04.12.

2. කුලරත්න එස්. , ‘අවුරුද්ද හා බැදුනු අන්දර’, සිළුමිණ ‘පුන්කළස’ අතිරේකය, 2009.04.12.

Permalink ප්‍රතිචාර 13

ජීවිකාව අහිමි වූ ම’හිමි සඳටයි……

2010 අප්‍රේල් 8 at 5:44 පස්වරු (කැඩපත් පවුර)


විසල් නුග සෙවන

නුඹයි,

ම’ සිතට

සීත සෙවන දුන්……..

 

හමන මාරුතය

ඉඩෝරයේ,

දවා හල

නුඹේ අතු පතර

දකින කල

කය නොව ම’සිත

දැවේ තැවේ

නුඹ නමින්……..

Permalink ප්‍රතිචාර 9

දහස් වරක් ඉසිඹුවට ගොඩවැදුනු වගයි…….

2010 අප්‍රේල් 7 at 7:22 පෙරවරු (වර්ගීකරණය නොකළ)


වර්ෂ 2010ක් වූ නවම් මස 05ස් වැනි දින ආරම්භ වූ ඉසිඹුවට අද වන විට එනම් වර්ෂ 2010ක් වූ බක් මස 07ත් වැනි දින වන විට එහි සහෘදයන් දහස් වාරයක් ඊට ගොඩවැදී ඉසිඹුලන්නට යෙදුනු වග ප්‍රමෝදයෙන් යුතුව දැනුම් දෙන වගයි.

   මෙතුවක් කලක් ඉසිඹුවට ගොඩවැදී ඉසිඹුවේ නිර්මාණ රස විඳිමින් ප්‍රතිචාර දක්වමින් සවිය දුන් සියලුම සහෘදයන් මෙහිදී මහත් වූ ලෙන්ගතුකමින් මතක් කරමි.

  අද දක්වා ලැබුනු ඒ හෘදයා0ගම දිරිය හෙට දිනත් එලෙසම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

Permalink එක් ප්‍රතිචාරයක්

කමටහන් වුයේ කිම…….???

2010 අප්‍රේල් 5 at 10:34 පෙරවරු (කැඩපත් පවුර)


අඩ අදුර රජයනා

අවන්හල මැද

නෙක පැහැති රූ රටා මැව්

පහන් සිලට මුවා වී

බහු රූ කෝලමින්

පිනවමින් නෙත සිත

තෙපලමින් මුසා බස්

ඉදුල් වැටි අගින් ගෙන

නුඹ ම කෑ බත් පත

යාචකයකු බුදින කල

වීදියේ කොනක හිඳ

කමටහන් වුයේ කිම…..???

එයම පමණක්

පිළිකුල් බවුන් වඩන්නට

Permalink ප්‍රතිචාර 6

කිරි කඳුළක්

2010 අප්‍රේල් 2 at 4:01 පෙරවරු (කැඩපත් පවුර)


වියළී ගිය දෙතනේ

කිරි සොයනා පුතුගේ

ඇඬුම් හඬට

එරෙන්න කිරි නැති මුත්

පුතුනේ……..

ඇවිලේ ගින්දර

මගෙ පපු කුහරේ

කිරෙන් නොව කඳුළින්

තෙමෙනා මගෙ දෙතනෙන්

රූරා වැටෙන කඳුළු බිදු වල

ලුනු රස මැකී

කිරි රස දැනේවා

නුඹට

මගෙ පුතුනේ…….

Permalink ප්‍රතිචාර 9

« Previous page · Next page »